ඇලෝසියස් සාක්කි දෙන්න බෑ කියයි

  👤  3008 readers have read this article !
By mawbima 2017-09-14

කමල් මහේන්ද්‍ර වීරරත්න

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම හා ජනයුගය පුවත්පත් සමාගම හිමිකාර අර්ජුන් ඇලෝසියස් මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දීම සඳහා කැඳවීමට එරෙහිව ඔහුගේ නීතිඥවරයා ඉදිරිපත් කළ විරෝධතාව ඉවත දමමින් ජනාධිපති විමර්ශන කොමිසම පිටු 9ක නියෝගයක් නිකුත් කළේය.
නීතිඥ විරෝධතාව අපරාධ නඩු විභාගයකදී මිස තොරතුරු විමර්ශන සාක්ෂි විභාගයක් වන මෙම කොමිසමේ සාක්ෂි විභාගයට අදාළ නොවන බවත් එබැවින් එම විරෝධතාව ප්‍රතික්ෂේප කරන බවත් ත්‍රිපුද්ගල කොමිසම නිකුත් කළ ඒකමතික තීන්දුවෙන් ප්‍රකාශ විය.

ඇලෝසියස් කොමිසම හමුවට කැඳවා ඇත්තේ සාක්ෂිකරුවන් 50කගෙන් පමණක්, රජයේ විගණකාධිපතිවරයා, වත්මන් මහ බැංකු අධිපතිවරයා, ශ්‍රී ලංකා මහ බැංකුවේ තවත් නිලධාරීන්, සේවක අර්ථසාධක අරමුදල, ලංකා බැංකුව ආදී විවිධ වැදගත් පුද්ගලයන් හා ආයතන හා ශ්‍රව්‍ය හා දෘශ්‍ය දත්ත වාර්තා, සන්නිවේදන හඬපට හා අතිවිශාල ප්‍රමාණයක් වූ ලියකියැවිලිද ආශ්‍රයෙන් කොමිසමට මේ වන විට අනාවරණය කරගත හැකි වූ තොරතුරු අනුව ඔහුගේ ඍජු සබඳතාවන් යම් යම් සිද්ධීන්ට තිබී ඇති බව කොමිසමට ඒත්තු ගොස් ඇති නිසා බවද එම තීන්දුවෙන් ප්‍රකාශ කොට ඇත.

එම කරුණු සම්බන්ධයෙන් තමාගේ නිර්දෝෂීභාවය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබාදීමේ නීතිමය අවශ්‍යතාව මත ඔහු කොමිසම හමුවට කැඳවන ලද බවත් එලෙස කැඳවීමට කොමිසමේ අධිකාරි පත්‍රය අනුවත් ජනාධිපති විමර්ශන කොමිෂන් සභා පනත අනුවත් කොමිසමට පූර්ණ බලතල ඇති බවත් එබැවින් කොමිසමේ සිතාසියට අවනතව කොමිසම හමුවට පැමිණ සාක්ෂි ලබා දෙන ලෙසත් එම තීන්දුවෙන් ඇලෝසියස්ට යළිත් නියෝග කොට ඇත.
ඒ සඳහා අද (14දා) දිනයේත් තවත් කොමිසම නියම කරනු ලබන වෙනත් දිනකදී හෝ දිනයන්හිදී කොමිසම හමුවට පැමිණ තමාගේ නිර්දෝෂීභාවය තහවුරු කිරීමට නියෝග කරන බවත් එමඟින් ප්‍රකාශ කොට ඇත.

එසේ වුවද එම නියෝගය පරිදි කොමිසම හමුවට පැමිණ තමා විසින්ම හෝ තම නීතිඥ නියෝජනය මඟින් සාක්ෂි දීමට කැමැත්තක් ඇති නම් ඒ බව ප්‍රකාශ කළ හැකි බවද එම නියෝගයෙහිම දක්වා ඇත.
ඒ සමඟම එහි දක්වා ඇත්තේ එසේ කරනුයේ නම් එමඟින් සිදුවනුයේ තමාට එරෙහිව කොමිසම හමුවේ ඉදිරිපත්ව ඇති තොරතුරු හා සාක්ෂි මත තමාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කොමිසමට පෙලඹවීමක් සිදුකිරීම බවය.

ඔහු වෙනුවෙන් නීතිඥ නවීන් මාරපන මහතා සමඟින් කොමිසම හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කොමිසමේ නියෝගය කියවා අවසන්වූ වහාම නැඟී සිට කෙසේ වුවද තම සේවාදායකයා කොමිසම හමුවේ සාක්ෂි දීමට කැමැති බව පවසන්නේ යැයි කොමිසමට දන්වා සිටියේය.

කොමිසමේ සාමාජික ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්. ජයවර්ධන මහතා එම අවස්ථාවේ ජනාධිපති නීතිඥ මාරපන මහතා අමතමින් කියා සිටියේ පිටු 9කින් යුතුව නිකුත් කොට ඇති සවිස්තර නියෝගය හොඳින් කියවා බලා වඩාත් ප්‍රවේසම්කාරීව තම සේවාදායකයාගේ ස්ථාවරය ප්‍රකාශ කරන ලෙසය.

ඊට ප්‍රතිචාර දක්වමින් මාරපන මහතා කියා සිටියේ ගරු විනිශ්චයකාරතුමන්ගේ ආරාධනය ගෞරවයෙන් පිළිගන්නා බවත් ඒ සඳහා ලබන සඳුදා වනතුරු කාලය ලබා දෙන ලෙසත්ය. එතරම් දීර්ඝ කාලයක් ලබාදීමේ අපහසුතාව ප්‍රකාශ කළ විනිසුරු ජයවර්ධන මහතා සහ සභාපති විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා එක්දිනක් පමණක් ලබාදිය හැකි බවත් ඒ අනුව අද (14දා) දිනයේ එම ප්‍රකාශය කොමිසම හමුවේ ප්‍රකාශ කරන ලෙසත් කියා සිටියේය.

ඒ අනුව අද දිනයේ (14දා) මාරපන මහතා කොමිසම හමුවේ තම සේවාදායකයාගේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට එකඟ විය.
අර්ජුන් ඇලෝසියස්ද අද දිනයේ අනිවාර්යයෙන්ම කොමිසම හමුවට පැමිණිය යුතු බවටද කොමිසම නියම කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්