පාසල් ක්‍රිකට් තත්ත්වය ඉහළ නංවාලීමට ඇමැති සමඟ ප්‍රවීණ ක්‍රීඩකයෝ එක්වෙති

  👤  2976 readers have read this article !
By mawbima 2017-09-14

වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ පා ඇති අභාග්‍යය සම්පන්න තත්ත්වයෙන් මුදාගැනීම සඳහා පාසල් ක්‍රිකට් මට්ටමෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගත්, ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සැකසීම පිළිබඳවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පසුගියදා රැස්වීමක් පැවැති අතර, මෙම අවස්ථාව සඳහා සිදත් වෙත්තමුණි හා මහේල ජයවර්ධන ඇතුළු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් හා පාසල් ක්‍රිකට් සංගම් නිලධාරීන් රැසක්ද සහභාගි වී තිබිණි.

මේ අනුව ඉදිරියේදී අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරාගැනීමේදී මෙයට පෙර භාවිත කළ ක්‍රමය එනම් පාසල් සංගමය නියෝජනය කරමින් නිලධාරීන් දෙදෙනකු සහභාගි කරවාගැනීමට අමතරව පාසල් ක්‍රිකට් සංචිතයට ඇතුළත් වන එක් ක්‍රීඩකයකුට රුපියල් 2500 බැගින් දීමනාවක් ලබාදීමේ වැඩපිළිවෙළක් ඇති කිරීමටද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

තවද පාසල් ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සහ අවශ්‍ය නීතිරීති යාවත්කාලීන කිරීමටත්, සියලුම පළාත් නියෝජනය වන පරිදි එක් පළාතක් සඳහා සියලුම පහසුකම් සහිතව උසස් තාක්‍ෂණික මධ්‍යස්ථාන ඇති කිරීම, අවුරුදු 13න් පහළ තරගවල තරගකාරීත්වය අඩුකරමින් එම දරුවන්ට නිදහසේ තරගවලට සහභාගිවීමට අවස්ථාව සලසමින් අත්දැකීම් ලබාගැනීමට ඉඩ ප්‍රස්තා සැලසීමත් මෙහිදී කතාබහට ලක්විය. මෙහිදී ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අදහස් හා යෝජනා ඇතුළත් කරගනිමින් ඉදිරියේදී පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමට ගතයුතු ක්‍රියාමාර්ග සහ යෝජනා ඇතුළත් වාර්තාවක් සකස් කිරීම සඳහා විශේෂ උපදේශන කමිටුවක් පත්කළ අතර, එම කමිටුවට සිදත් වෙත්තමුණි, මහේල ජයවර්ධන, රොජර් විජේසූරිය, ජයන්ත සෙනෙවිරත්න හා කාල්ටන් බර්නාඩ් යන මහත්වරුන් ඇතුළත් වී තිබිණි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පසුව මහේල ජයවර්ධන ටිව්ටර් පණිවිඩයකින් පවසා ඇත්තේ එය ඉතා හොඳ රැස්වීමක් බවත්, ඉදිරියේදී ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට්වල කැපී පෙනෙන දියුණුවක් ලැබීමට තමන් උදව් කරන බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්