ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති පුටුව ග්‍රැහැම් ලැබ්රෝයිට

  👤  2927 readers have read this article !
By mawbima 2017-09-14

සිරිනාම රාජපක්‍ෂ

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන්නකු වන ග්‍රැහැම් ෆෙඩ්රික් ලැබ්රෝයි මහතා පත්කර ඇතැයි "මව්බිම"ට වාර්තා වේ. සනත් ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් හිටපු ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව පසුගිය 7දා සිට තම තනතුරුවලින් ඉල්ලා අස්වීම හේතුවෙන් නව ක්‍රිකට් සභාපතිවරයකු ඇතුළු තේරීම් කමිටුවක් පත්කිරීම කෙරෙහි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අවධානය යොමු වී ඇති අතර, ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරීන් සමඟ පෙරේදා (12දා) රාත්‍රියේ පැවැති විශේෂ සාකච්ඡාවකින් පසුව ග්‍රැහැම් ලැබ්රෝයිට නව තේරීම් කමිටු සභාපති තනතුර පිරිනැමීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

තවද වර්තමානයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) තරග තීරකවරයකු ලෙස කටයුතු කරන ලැබ්රෝයි මහතා මේ වනවිටත් විදෙස්ගතව සිටින අතර, ඔහු නව තනතුර භාරගැනීමට මෙරට ක්‍රීඩා බලධාරීන් වෙත කැමැත්ත පළකර ඇතැයි වැඩිදුරටත් පැවැසේ. ඒ අනුව ඉදිරි සතියේදී පමණ ඔහු ශ්‍රී ලංකාවට පැමිණ නව තනතුරේ රාජකාරි භාරගැනීමට නියමිත බවද දැනගන්නට ඇති අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් සඳහන් වන්නේ නව ජාතික තේරීම් කමිටුවේ සංයුතිය සහ ඉතිරි සාමාජිකයන් කවුරුන්ද යන්න හෙට (15දා) අවසන් තීරණයකට එළැඹීමට නියමිත බවය.

කෙසේ වෙතත් දැනගන්නට ඇති පරිදි නව ක්‍රිකට් තේරීම් කමිටුවේ අනෙක් සාමාජිකයන් අතරට සජිත් ප්‍රනාන්දු සහ චමින්ද මෙන්ඩිස් යන හිටපු ක්‍රීඩකයන්ගේ නම්ද යෝජනා වී ඇති අතර, නව සභාපති තනතුරට පත්වීමට නියමිත 53 හැවිරිදි ග්‍රැහැම් ලැබ්රෝයි මහතා කොළඹ සී.සී.සී. ක්‍රීඩා සමාජයේ හිටපු ක්‍රීඩකයකු මෙන්ම 1986-1992 කාල වකවානුවේ දක්‍ෂ වේගපන්දු යවන්නකු ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් තරග 9කට හා එක්දින ජාත්‍යන්තර තරග 44කට සහභාගි වී ඇත.
1991 මාර්තු මාසයේදී නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී ටෙස්ට් වරම් ලැබූ ලැබ්රෝයි ටෙස්ට් තරග 9කදී කඩුලු 27ක් (සාමාන්‍ය 44.22) දවාගෙන ඇති අතර, එක් දින තරග 44කදී කඩුලු 45 (සාමාන්‍ය 41.68) ලබාගෙන ඇත. ක්‍රීඩා කළ ටෙස්ට් හා එක්දින තරග සියල්ලම ශ්‍රී ලංකාවෙන් පිට ක්‍රීඩා කළ පළමු ශ්‍රී ලාංකික ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ලැබ්රෝයිගේ නම මෙරට ක්‍රිකට් ඉතිහාසයට එක්වන අතර, ශ්‍රී ලංකාව නමින් 50 වැනි එක්දින වරම් හිස්වැස්ම පැලඳ ගත් ක්‍රීඩකයා වන්නේද ග්‍රැහැම් ලැබ්රෝයි වීමද විශේෂත්වයකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්