වැලිකඩ වෙඩි තැබීමේ සිද්ධියේ පරීක්‍ෂණ කටයුතු කඩිනම් කරන්න

  👤  3020 readers have read this article !
By mawbima 2017-09-14

බන්ධනාගාර ගත කරන රැඳවියන්ට ලැබෙන කිසිම පහසුකමක් වර්තමානයේ නොලැබෙන බවත්, එය බන්ධනාගාර ආඥා පනතේ තිබෙන අණපනත්වලට පටහැනි බවත්, 2012 දී වැලිකඩ බන්ධනාගාරයේදී ඇතිවුණු වෙඩි තැබීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු කඩිනම් කළයුතු බවත් බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් ද සිල්වා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ලෝක සිරකරුවන්ගේ දිනය වෙනුවෙන් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී පැවැති සැමරුම් වැඩසටහන සහ උද්ඝෝෂණ ව්‍යාපාරට එක්වෙමිනි.
දැනට බන්ධනාගාරයේ සිදුවන මානව හිමිකම් කඩවීම්වලට වත්මන් රජය ද වගකිව යුතු බව මෙහිදී නන්දිමාල් මහතා පැවසුවේය.
මෙම වැඩසටහන පැවැත්වූ ස්ථානයට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතාද පැමිණි අතර බන්ධනාගාර ප්‍රධාන වෛද්‍ය නිලධාරිනි නිර්මලී තේනුවර මහත්මියව වහාම එම ධුරයෙන් නෙරපා හරින ලෙස ඉල්ලමින් ලිපියක්ද මෙහිදී ඇමැතිවරයාට භාර දෙන ලදී.

එම අවස්ථාවේදී ස්වාමිනාදන් ඇමැතිවරයා පැවැසුවේ දැනට බන්ධනාගාර ගත කර සිටින රැඳවියන්ට සිදුවන අපහසුතාවලට කඩිනම් විසඳුම් ඉදිරි කාලයේදී ලබා දෙන බවයි.
බන්ධනාගාර වෛද්‍ය නිලධාරිනි නිර්මලී තේනුවර මහත්මිය පිළිබඳවද වහාම පියවරක් ගන්නා බවද ඇමැතිවරයා පැවසුවේය.

මෙහිදී සුදේශ් නන්දිමාල්ද සිල්වා මහතා මෙසේ පැවසීය. අපි අද මෙතැන කරන්නේ සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අරගලයක්. අද මෙම බන්ධනාගාරයේ ඉන්න සිරකරුවන් විඳින දුක අපි දන්නවා. වසර 13 හමාරකට වැඩියෙන් බන්ධනාගාර ගත වී සිටින සිරකරුවන්ට නිදහස් වීමේ ඉඩකඩ තිබෙනවා. නමුත් අද ඒ කිසි දෙයක් සිදුවෙන්නෑ. පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුකාලේ බන්ධනාගාර පනත යටතේ එයාලගේ හෙංචයියන්ව නිදහස් කළා. නමුත් වැරදි නොකරපු අයත් ඉන්නවා බන්ධනාගාර ගතවෙලා. නමුත් කිසිම මානුෂීය හැඟීමකින් ඒ දිහා කවුරුත් බලන් නෑ.

ඔවුන් වධ විඳිනවා. ඔවුන්ට පහර දෙනවා. ඔවුන්ට බෙහෙත් ලැබෙන්නේ නෑ. මේවා විශෝධන ආයතන. නමුත් කිසිම විශෝධනයක් නෑ. මේ තැන්වල වසර 10කට වැඩිය සමහර රැඳවියන්ව තියාගෙන ඉන්ඩ බෑ. අද වසර 25කට වැඩිය සමහර රැඳවියන් රඳවල ඉන්නවා.

අද දේශපාලනඥයාගේ අනුදැනුම මත සමහර අය අවුරුදු දෙකෙන් එළියට එනවා. පීඩිත පන්තියේ මිනිස්සුන්ට අද ඒ අවස්ථාව ලැබෙන්නෑ. රැඳවියන්ගේ අයිතිය වෙනුවෙන් අපි දිගින් දිගටම අපේ සටන ගෙනියනවා. එක පිරිසකට විතරක් අද සැප සම්පත් ලැබෙනවා. හොරකම් කරලා බන්ධනාගාරෙට යන අය අද යන්නේ රෝහලට.
පොල් ගෙඩියක් කඩලා හිරේට යන මනුස්සයකුට මොන ලෙඩේ තිබුණත් ඔහුව රෝහල් ගත කරන්නෑ. මමත් එදා බන්ධනාගාරේ හිටියා. ඒ සාධාරණ සමාජ ක්‍රමයක් හදන්න සටන් කිරීම වෙනුවෙන්. අපි දන්නවා බන්ධනාගාරයේ රැඳවියෝ විඳින දුක. බන්ධනාගාර රැඳවියන්ගේ අයිතීන් වහා ලබාදෙන්න. ඒකයි අපි ඉල්ලන්නේ.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය
ඡායාරූප - අකිල ජයවර්ධන

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්