ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන්ට චීවරධාරියා කීම මදි පුංචිකමක්

  👤  3016 readers have read this article !
By mawbima 2017-09-14

සිවුරු හැරගිය පුද්ගලයාට හීරළුවා යයි කියන ජනතාව හොරෙන් සිවුරු පොරවා ගත් කෙනාට කියන්නේ චීවරධාරියායි කියලා වුවත් නීත්‍යනුකූලව ශාසනයට ඇතුළු වී ඇති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හමුදුරුවන්ට එහෙම කියන්න බැරි යැයි දකුණු පළාත් සභා මන්ත්‍රි පූජ්‍ය බද්දේගම සමිත හිමියන් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පැවැසූහ.
නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරල මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ දකුණු පළාත් සභා රැස්වීමේදී උන්වහන්සේ මේ ප්‍රශ්නය මතු කළහ.

2500කට ආසන්න කාලයක සිට ඉතිහාසයක් ඇති භික්ෂුවක් මොන තත්ත්වයේ වුව පැවිදිව බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට කරන කාර්යභාරය උපහාසයට ලක් කිරීම පිළිබඳව අමාත්‍ය සරත් ෆොන්සේකා ඇල්ලේ ගුණවංශ හිමියන්ට කරන ලද මදිපුංචිකම වෙනුවෙන් බලවත් අප්‍රසාදය පළකරන බව උන්වහන්සේ පැවැසූහ.
බද්දේගම විමලවංශ නායක හිමියන්ගේ ජේ‍යෂ්ඨ භික්ෂුන් වහන්සේ නමක් වන ඇල්ලේ ගුණවංශ හිමියන් 30 වසරක සාපරාධී යුද්ධය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළ අතර විදේශීය ජනමාධ්‍ය පවා හාමුදුරුවන්ගෙන් විමසා සිටියේ සිවුරු ඇඳගෙන කොහොමද යුද්ධ කරන්නේ කියලයි. ඒ තරමට උන්වහන්සේ යුද්ධය නැති කරන්න යුද්ධයට නොගියත් විශාල මෙහෙවරක් ඉටු කළා.

සරත් ෆොන්සේකා කැලණිය මහ විහාරයේ දායක සභාවේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙසත් කටයුතු කරමින් සිටිනවා. විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වා ඔහුගේ මානසික රෝගයට බෙහෙත් ගත යුතු යැයි මා මතක් කර සිටිනවා.

යහපාලන ආණ්ඩුව ඡන්දයෙන් පැරැදුණු අය පාර්ලිමේන්තුවට ගන්නේ නැතැයි පම්පෝරි ගැහැව්වත්, දීර්ඝ කාලයක් එජාපයට දරදිය ඇද්ද පාක්ෂිකයන් ජාතික ලැයිස්තුවේ සිටියදී මහින්ද රාජපක්ෂ ඇතුළුව රාජපක්ෂවරුන් හඹායන්නට සරත් ෆොන්සේකාට ඇමැතිකමකුත් ලබාදී තිබෙනවා.

විග්නේශ්වරන් උතුරේ ප්‍රධාන අමාත්‍යවරයාත් ඇමෙරිකාවේ ද්‍රවිඩ ඊළාම් සංවිධානයත් සරත් ෆොන්ස්කාගේ කතාවලට ප්‍රශංසාව පළකර තිබෙනවා. මේ අනුව අපට පෙනී යන්නේ සරත් ෆොන්සේකා ජාති හිතෛෂියකු නොව ජාති ද්‍රෝහියකු ලෙසයි.

රත්ගම - ගුණපාල ඉරත්නවල්ලි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්