ශ්‍රී ලනිප නායකයා රඟපාන්නේ දෙබිඩි චරිතයක්

  👤  3005 readers have read this article !
By mawbima 2017-09-14

එක් පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන අතරම අනෙක් පැත්තෙන් ඒකාධිපතියකුටත් අන්ත ලෙස හැසිරෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය අද රට හමුවේ දෙබිඩි චරිතයක් රඟපාමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂ සංවිධානයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ආණ්ඩුවට එරෙහිව කටක්වත් අරින්නට පක්ෂ නායකත්වය කිසිදු ඇමැතිවරයකුට ඉඩ නොදෙන බව පැවසූ හෙතෙම හොඳින් හෝ නරකින් විරෝධතා මර්දනය කරමින් ආණ්ඩුව ඉදිරියේදී යන්නට හදන ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ගමනේ හැඩතල දැන් පෙනෙන්නට තිබෙන බවත් පෙන්වා දෙයි.
එහිදී රණතුංග මහතා වැඩිදුරටත් මෙසේද කීය.

ජනාධිපතිවරයා ගත්ත මේ තීන්දුවත් එක්ක අපිට පෙනෙන්න තියෙන්නේ ආණ්ඩුවට එරෙහිව රට තුළ ගොඩනැඟෙමින් තිබෙන විරෝධතා දැන් දරා ගන්න බැරි තැනකට ඇවිත් තියෙනවා කියන එකයි. මේ විරෝධය හොඳින් හෝ නරකින් මර්දනය කරන්න තමයි මේ අය සූදානම් වෙන්නේ. විශේෂයෙන් පාක්ෂිකයන් පක්ෂයෙන් ඉවත්ව ඒකාබද්ධ විපක්ෂය වටා එකතු වීම මේ අයට දරා ගන්න බැරි වෙලා තියෙනවා.

පසුගියදා කොළඹ දී පැවැත්වුණු පක්ෂ සංවත්සරයේදී පක්ෂයේ බලය ඩැහැගෙන ඉන්න අයට පැහැදිලි වෙන්න ඇති ජනමතය අද තියෙන්නේ කොතැනද කියන එක.
පක්ෂයේ බලය උරුමක්කාරයන්ගෙන් කරුමක්කාරයන් අතට මාරු වෙලා තියෙනවා මදිවට උරුමක්කාරයන්ට එරෙහිව කරුමක්කාරයන් අවි අමෝරා ගන්න තැනකට අද පක්ෂය පත් වෙලා තියෙනවා. ගෞරවනීය ඉතිහාසයක් තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉරණම තීරණය කරන්නේ කරුමක්කාරයන් විසින් වීම තමයි අපට තියෙන කනගාටුව.

එක්සත් ජාතික පක්ෂයේ වලිගයේ නිදහස් පක්ෂය ගැටගහලා මේ යන ගමනට ඒකාබද්ධ විපක්ෂය වශයෙන් අපි මුල සිටම විරුද්ධ වුණා. ගමේ පාක්ෂිකයන් කියන්නෙත් මේ හොර දීගයෙන් ඉවත් වෙන්න ඕනෙ කියලයි.
යූ.ඇන්.පී. යේ පව්වලට අපි කරගහන්න ඕනේ නැහැ.

පසුගියදා නිදහස් පක්ෂයේ සංවත්සරය තිබුණා. එතැනදී ජනාධිපතිවරයා කිව්වා පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළා කියලා. එහෙම කියපු ජනාධිපතිවරයාම ආණ්ඩුව විවේචනය කරපු මන්ත්‍රිවරුන් පිරිසක් තනතුරුවලින් එළවලා දැම්මා. එතකොට ඒකද මේ තහවුරු කළැයි කියන ප්‍රජාතන්ත්‍රවාදය. ජනාධිපතිවරයා මේ නිදහස් පක්ෂ ඇමැතිවරුන්ට කියන්නේ කටවහං ඉඳපල්ල නැත්නම් ඇමැතිකම් නැති වෙයි කියලයි.

මහින්ද මහත්තයා පක්ෂය ඇතුළේ තමන්ට කටක්වත් අරින්න දුන්නේ නැහැ කියලා එදා පක්ෂයෙන් එළියට ගිහින් නාහෙන් අඬපු සිරිසේන ජනාධිපතිවරයාම තමයි මේ විදියට අරුන්දිකලා, වීරසුමනලා, සුනිල්ලා, ඥානසිරිලා එළවලා දැම්මේ. මහින්දට ඒකාධිපතියා කිව්ව කෙනා අද හැසිරෙන්නෙ ඒකාධිපතියකුටත් අන්ත විදියටයි. මහින්ද මහත්තයා දැඩි තීන්දු ගත්තේ පක්ෂය ආරක්ෂා කරන්න. හැබැයි මෙයා දැඩි තීන්දු ගන්නේ බලය තහවුරු කරගන්න.

මේ මර්දනකාරී ගමනට විරෝධය දැක්වීමේ එකම මඟ තමයි හවුල් ආණ්ඩුවෙන් ඉවත් වීම. රට හමුවේ නැඟෙන විරෝධය හමුවේ වියරු වැටී සිටින ආණ්ඩුවට තමන්ව ඇමැතිකම්වලින් ‍ෙදාට්ට දාන්න පෙර නිවැරැදි තීන්දුවක් ගන්න නිදහස් පක්ෂයේ අනෙක් ඇමැතිවරුන්ට ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනය කරනවා.

ත්‍යාගා ශ්‍රීමාලි බණ්ඩාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්