එජාපයට කඩේ යන්නේ කවුද කියලා ජනතාව ඉදිරියේදී තීරණය කරයි

  👤  3072 readers have read this article !
By mawbima 2017-09-14

වත්මන් ආණ්ඩුවේ කොටස්කරුවන් වීම නිසා බැඳුම්කර සිදුවීම වැනි වංචා හෙළි කිරීමට හැකි වූ බවත් එජාපයට කඩේ යන්නේ ශ්‍රී ලනිපයද නැත්නම් ඒකාබද්ධ විපක්ෂයද යන්න ජනතාව ඉදිරියේදී තීරණය කරන බවත් බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා පැවැසීය.
ඊයේ (13දා) ශ්‍රාවස්ති මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවැසුවේය.
වැඩිදුරටත් මෙසේද කීය.

අපි මේ ආණ්ඩුව සමඟ හිටිය නිසා තමයි බැඳුම්කර වංචාව වැනි සිදුවුණු දූෂණ වංචා හෙළි කළේ. අද එජාපයට කඩේ යන්නේ ශ්‍රී ලනිපයද, ඒකාබද්ධ විපක්ෂයද කියලා ජනතාව තීරණය කරයි. දූෂණ වංචාවලට තිත තබන එකම බලවේගය අපි. පළාත් පාලන මැතිවරණ සඳහා තරග කරන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෝ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නොවෙයි. ඒ නිසා බෙදිලා තරග කරලා එජාපය දිනවනවද යන්න සිතා බැලිය යුතුයි. රැස්වීම්වලින්, පෝස්ටර්වලින්, කටවුට්වලින් ජනතාවගේ මතය තීරණය කරන්න බැහැ. ශ්‍රී ලනිපයේ කිසිවෙක් ඒකාබද්ධ විපක්ෂයට යන්නේ නැහැ. ඔවුන්ට ආරාධනා කරනවා අපත් සමඟ එකතු වෙන්න කියලා.

20 වැනි සංශෝධනය පිළිබඳව පැහැදිලි යෝජනාවක් ඉදිරිපත් කළේ බස්නාහිර පළාත් සභාවයි. 20 වැනි සංශෝධනයේ ඇතැම් වගන්තිවලට අපිට එකඟ වෙන්න බැහැ. මෙහිදී 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා. එමඟින් පළාත් සභාවලට ලබාදී තිබුණු බලතල 20 වැනි සංශෝධනය මඟින් පාර්ලිමේන්තුවට ලැබෙන ආකාරයටයි සකස් කර තිබෙන්නේ.
එකම දිනයක මැතිවරණයක් පැවැත්වීමට අපි විරුද්ධ නැහැ. නමුත් එම වගන්තියෙන් පසුව ඒ යටතේ තිබෙන අනෙකුත් වගන්තිවලට අපිට එකඟ වෙන්න බැහැ. එම වගන්තිවලට අපි විරුද්ධයි.

අපි ඉදිරිපත් කළ යෝජනාව දැනටමත් ආණ්ඩුව පිළිගෙන තිබෙන්නේ. ශ්‍රී ලනිපයත් ඒ සඳහා අවධානය යොමුකර තිබෙනවා. අපි 20 වැනි සංශෝධනය පළාත් සභාවේ වැඩි ඡන්දයෙන් සම්මත කරගත්තේ අපේ සංශෝධනයන් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කිරීමේ එකඟත්වය මත.
ඒ වගේම කවුරුවත් යුද අපරාධ සම්බන්ධයෙන් කලබල වියයුතු නැහැ. අපි සටන් කළේ ප්‍රභාකරන් සමඟ පමණක් නොවේ. ජාත්‍යන්තරය, රාජ්‍ය නොවන සංවිධාන, ජාත්‍යන්තර කොටි ඩයස්පෝරාව සමඟත් අපිට සටන් කරන්න වුණා. ඕනෑම කෙනකුට යුද්ධය අවසන් කළාට පසුව කියන්න පුළුවන් මානව හිමිකම් කඩවුණා කියලා. ජනාධිපතිවරයා සහ රජය ඉතාම පැහැදිලි තැනක ඉන්නේ. කිසිම රණවිරුවෙක්ව ජාත්‍යන්තරය හමුවේ පාවාදෙන්නේ නැහැ. මොකද යුද්ධයේ කුරිරු බව හොඳටම දන්න කෙනෙක් තමයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා.

උතුරේ මහ ඇමැතිවරයා කරන ප්‍රකාශ අහසට පොළොව වගේ. ඔහු අපේ රණවිරුවන්ට දඬුවම් කරන්න ඕනේ කියනවා. අනික් පැත්තෙන් එල්.ටී.ටී.ඊ. සැකකරුවන් බලන්න බෝගම්බරට යනවා. මම හිතන්නේ මානව හිමිකම් කවුන්සිලය මුලින්ම අල්ලගන්න ඕන උතුරේ මහ ඇමැතිව. ඔහු වැඩකරන්නේ උතුරේ ජනතාවගේ ඡන්ද ගන්න. සිංහල මිනිස්සුන්ට කිසිම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ උතුරු පළාතේ. ඒ තරම් ජාතිවාදය.

ඉෂාරා සිල්වා
ඡායා - සජීව චින්තක කහඳගමගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්