ජනාධිපතිතුමයි අගමැතිතුමයි කාඩ්බෝඩ් වීරයන් නොවේ

  👤  3044 readers have read this article !
By mawbima 2017-09-14

යහපාලන ආණ්ඩුව රණවිරුවන් පාවා දෙනවා, රණවිරුවන් තුට්ටු දෙකට විකුණනවා, රණවිරුවා යොදා ගනිමින් විදේශ රටවල් සමඟ ගිවිසුම් ගසනවා යැයි විරුද්ධවාදීන් පවසනවා. එම ප්‍රකාශ සියල්ලක්ම අසත්‍යයි. විරුද්ධවාදීන් මෙවැනි කට කතා නිර්මාණය කරන්නේ රණවිරුවාට තිබෙන ආදරය නිසා නොවෙයි. නැවත වරක් අරලියගහ මැඳුරට, ජනාධිපති මැඳුරට පැමිණීමේ ‍ෙදාළදුක සම්පූර්ණ කරගැනීමට යැයි ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

ඇමැතිවරයා එසේ කියා සිටියේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මීවත්පුර ප්‍රදේශයේ ඉදිවූ 40 වැනි උදා ගම්මානය 'සඳරැස්ගම' අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරමිනි.

එහිදී ඇමැතිවරයා මෙසේද කීය.
රණවිරුවන්ට ආදරය කළා නම් සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ 40,000කගේ රැකියා ස්ථීර නොකළේ ඇයිදැයි ප්‍රශ්න කළ ඒ මහතා සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ 40,000කට රාජ්‍ය සේවයේ වරප්‍රසාද ස්ථීර වැටුප සහ විශ්‍රාම වැටුප් සහිතව අභිමානයෙන් යුතුව රාජකාරිය ඉටු කර ගැනීමට අවැසි පරිසරය නිර්මාණය කළේ යහපාලන ආණ්ඩුවයි. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් කාඩ්බෝඩ් වීරයන් නොවෙයි.

රණවිරුවන් රැක ගැනීම සඳහා අප ඇපකැපවී සිටිනවා. ජනාධිපතිතුමාගේ නායකත්වය සහ අග්‍රාමාත්‍යතුමාගේ ශක්තිය තුළ කිසිම රණවිරුවකුට අත තැබීමට අපි ඉඩ දෙන්නේ නැහැ.

යහපාලන රජය අද වැදගත් කඩඉමක් පසු කළා. මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ආරම්භ කළ "යළි පිබිදුණු උදා ගම්මාන" වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 40 වැනි උදා ගම්මානය පොළොන්නරුව, දිඹුලාගල, මීවත්පුර ප්‍රදේශයේ ඉදිවූ "සඳරැස්ගම" ආදර්ශ ගම්මානයයි. "සඳරැස්ගම" ආදර්ශ ගම්මානය නිවාස 34කින් සමන්විතයි. තමන්ට කියා බිම් අඟලක් නොතිබුණ අසරණ පවුල් 34කට අද ඉඩමක හා නිවෙසක අයිතිය ලැබෙනවා.
"සඳරැස්ගම" අංගසම්පූර්ණ නිවාස ගම්මානයක්. අද මෙම ගම්මානය ජනතා අයිතියට පත්වන මොහොතේදී තවත් පවුල් 1,200කට ආසන්න ප්‍රමාණයකට සහන රැසක් හිමිවෙනවා.

ජනතාව වෙනුවෙන් මෙම උතුම් සේවාවන් ඉටු කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම, ආශීර්වාදය, මාර්ගෝපදේශකත්වය සහ මැදිහත්වීම අපට විශාල ශක්තියක් වුණා. ඇමෙරිකාවේ සිටි ශේ්‍රෂ්ඨ ජනාධිපතිවරයකු වූ ජෝන් එෆ්. කෙනඩි මහතා වැදගත් ප්‍රකාශයක් කළා. "කරුණාකර හැමවිටම සිතන්න තමන්ගේ රටට ඉටුවිය යුතු සේවාව පිළිබඳව" ඒ ශේ්‍රෂ්ඨ දර්ශනය අතිගරු ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා අද අනුගමනය කරමින් සිටිනවා.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ එකම අරමුණ මාතෘ භූමියේ නිවාස සංවර්ධනයේ පාරාදීසය නිර්මාණය කිරීමයි. නිවාස සංවර්ධන සංග්‍රාමය ඉදිරියේදී තවත් වේගවත් කරන්න අප බලාපොරොත්තු වනවා. ප්‍රජාව කේන්ද්‍ර කරගත් නිවාස සංවර්ධනයක් වෙනුවෙන් රජයක් ලෙස අප ඇපකැප වෙනවා. අපගේ වැඩසටහන පෝෂණය වන්නේ පහළ සිට ඉහළටයි. ජනතාව පෝෂණය කිරීම අපේ ගමනේ එකම අරමුණයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්