මාරකොල්ලියේදී රිය අනතුරකින් පිය - පුතු දෙදෙනා ජීවිතක්ෂයට

  👤  3058 readers have read this article !
By mawbima 2017-09-14

තංගල්ල - සහම්පති මානගේ හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

මාතර _ තිස්ස ප්‍රධාන මාර්ගයේ මාරකොල්ලිය ප්‍රදේශයේදී බස් රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (13දා) පිය - පුතු දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල - උණාකූරුව ගුරුගොඩැල්ල ප්‍රදේශයේ පදිංචි දියෝගු හැන්නදිගේ ඩික්සන් ලාල් (40) හා ඔහුගේ පුත් දියෝගු හැන්නදිගේ අනුසර ලක්නද (6) නම් දෙදෙනෙකි.

ජීවිතක්ෂයට පත්වූ ඩික්සන් ලාල් මහතා උණාකූරුව උප තැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපතිවරයා ලෙස සේවය කරමින් සිට ඇත. අනතුර සිදුවන විට ත්‍රිරෝද රථය තංගල්ල දෙස සිට රන්න දෙසට ධාවනය කරමින් තිබී ඇති අතර බස් රථය කතරගම සිට කොළඹ බලා ධාවනය කරමින් තිබී ඇත. අනතුරට ලක්වූ බස් රථය ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකි. මියගිය දෙදෙනාගේ මෘත දේහයන් තංගල්ල මූලික රෝහලේ තැන්පත් කර ඇත.

තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතා හා සහකාර පොලිස් අධිකාරි 1 බී. එම්. දසනායක මහතාගේ උපදෙස් පරිදි තංගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක ලලිත් හෙට්ටිආරච්චි මහතා හා රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර මහතා ඇතුළු නිලධාරීන් අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්