උසාවියේදී පුතා කළ ප්‍රකාශයකින් පසුව මව අත්අඩංගුවට අරන්

  👤  3047 readers have read this article !
By mawbima 2017-09-14

පදියතලාව - චන්දන කුමාර

පදියතලාව ඉහළ වීදිය සත්සර මාවත ප්‍රදේශයේදී පසුගියදා (8දා) පොල්ලකින් පහරදී 47 හැවිරිදි පියකු ඝාතනය කළ බවට පදියතලාව පොලිසියේදී වරද පිළිගත් නාවලගේ උදේශ් (19) නමැත්තා දෙහිඅත්තකණ්ඩිය අධිකරණයේදී කළ විශේෂ ප්‍රකාශයකින් පසු පෙරේදා (12දා) හවස මියගිය අයගේ බිරිය පදියතලාව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත.

දෙහිඅත්තකණ්ඩිය අධිකරණයේදී වැඩබලන මහෙස්ත්‍රාත් බී.ඒ. එන්.කේ. සුමතිපාල මහතා ඉදිරියේ තමාට විශේෂ ප්‍රකාශයක් කිරීමට ඇති බවට පොලිසියට අත්අඩංගුවේ සිටි එන්. උදේශ් නමැත්තා පවසා සිටියේ.

එදා (8දා) හවස අම්මයි තාත්තයි රණ්ඩු වුණා. මම කාමරේට වෙලා හිටියේ. රෑ 10.30ට විතර මම කාමරයෙන් එළියට එද්දී අම්මා තාත්තාගේ කාමරෙන් එළියට එනවා දැක්කා. අම්මගේ අතේ පොල්ලක් තිබුණා. හැමදාම මේ කරදරේ කරන්න බෑ. මම තාත්තව මැරුවා කියලා අම්මා මට කිව්වා. මම කාමරේට ගිහින් බලන කොට තාත්තාගේ ඔළුවෙන් ලේ පෙරෙනවා. තාත්තා කතා කළේ නෑ. තාත්තට ගහපු පොල්ල මගෙ අතට දීලා තාත්තට ගැහුවේ මම කියලා ඉදිරිපත් වෙන්න කියලා අම්මා කිව්වා. තාත්තට ගහපු පොල්ල ළිඳට දාලා කැලේ පනින්න කියලත් අම්මා කිව්වා. මම තාත්තට පොල්ලෙන් ගැහුවේ නෑ. අම්මා කියපු හින්දයි මම කලින් ඒ විදියට කිව්වේ. නමුත් පස්සේ හිතුණා මට ඇත්ත කියන්න.

මෙම සාක්ෂිය අධිකරණයේ සටහන් කර ගැනීමෙන් දෙහිඅත්තකණ්ඩිය වැඩබලන මහෙස්ත්‍රාත් බී.ඒ.එන්.කේ. සුමතිපාල මහතා පොලිසියට නියෝග කරමින් කියා සිටියේ මියගිය නාවලගේ උපාලි ලයනල් කුරේ නමැති අයගේ බිරිය වන අයේෂා මධුමාලි යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
පදියතලාව පොලිසිය මෙම කාන්තාව පෙරේදා (12දා) හවස මහියංගණය රෝහලේදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇතත් ඊයේ (13දා) උදේ වනතුරු වැදගත් ප්‍රකාශයක් ලබා ගැනීමට අපොහොසත්ව ඇත. ඇය සෑම ප්‍රශ්න කිරීමකදීම නිහඬව සිටි බවද පොලිසිය පවසයි.

මහඔය සහකාර පොලිස් අධිකාරි කේ.ඩී. චන්ද්‍රපාල සහ පදියතලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඒ. එස්.සී. සතරසිංහ මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. දීපාල් දේශප්‍රිය මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්