සමන් අතාවුදහෙට්ටි රචිත ‘සොඳුරු සැරිසර - සක්වළ පියස දිගේ’ කෘතිය ‍ෙදාරට වැඩීමේ උළෙල

  👤  2947 readers have read this article !
By mawbima 2017-09-14

ටිබෙට් ස්වයාත්ත කලාපය ගැන ශ්‍රී ලංකාවේ පාඨකයන්ට කියවන්නට අසන්නට ලැබී තිබෙන්නේ බටහිර කෝණවලින් බලා ලියැවුණු ඒවායි. එබැවින් මෑත ඉතිහාසයේ ටිබෙටය ගැන සැබෑ චිත්‍රයක් මවා ගැනීමට හැකි පත පොත ශ්‍රී ලංකාවේ බිහිවී නැහැ. සමන් අතාවුදහෙට්ටි නිර්මාණය කළ "සොඳුරු සැරිසර - සක්වළ පියස දිගේ" කෘතිය මඟින් ටිබෙටයේ සමාජයීය, සංස්කෘතික, ආගමික හා දේශපාලන ප්‍රවණතාවන් ගැන නිවැරැදි චිත්‍රයක් මවා ගත හැකියි.

චීනයේ බෙයිජිං නුවර වංෂු හෝටලයේ බහු කාර්ය ශාලාවෙදී පෙරේදා (12දා) පැවැති සමන් අතාවුදහෙට්ටි රචිත "සොඳුරු සැරිසර - සක්වළ පියස දිගේ" කෘතිය ‍ෙදාරට වැඩීමේ උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය. මේ කෘතිය මඟින් චීන ජනාධිපති ෂි ජින්පිං මහතාගේ දූෂණ විරෝධී වැඩපිළිවෙළ පිළිබඳවද පැහැදිලි අවබෝධයක් ශ්‍රී ලංකා ජනතාවට ලබාගත හැකි බවද අමාත්‍යවරයා පැවැසීය.
චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ විශේෂ සුබ පැතුම් පණිවුඩය ඉදිරිපත් කළේය. ඉන් අනතුරුව
‍ෙදාරට වැඩීමේ උළෙලෙහි මුඛ්‍ය දේශනය පවත්වමින් මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා මෙසේ පැවැසීය.

ශ්‍රී ලංකාවේ ජනයා අතර වැඩි වශයෙන්ම සිටින්නේ සුනිල්, සරත්, සමන්, කමල් වැනි නම්වලින් හඳුන්වන අයයි. ඒ නම් තිබෙන අය ලක්ෂ ගණනින් රට පුරා විසිර සිටිනවා. එහෙත් ඔවුන් අතර සිටින සමන්ලා අතරිනුත් අංක එක තැන සිටින්නේ සමන් අතාවුදහෙට්ටි බව මා අවිවාදයෙන් පිළිගන්නා කරුණක්.
එලෙස අංක එක බවට පත්වීම ලේසි පහසු කරුණක් නෙවෙයි. මන්දයත් සමන්ගේ වෘත්තීය ස්ථානගත වී තිබෙන්නේ දේශපාලන ක්ෂේත්‍රයේ බැවින්. කවුරුත් දන්නා පරිදි දේශපාලනය යනු ඕනෑම වීර පුරුෂයෙක් ඉතාම අවම තත්ත්වයට පිරිහෙළීමට පසුබැස යෑමට ගතවන්නේ තත්ත්පර කිහිපයක් පමණයි. එබඳු ක්ෂේත්‍රයක වෘත්තීය කටයුතු කළත් ඔහු තමන්ගේ ස්ථාවරය එදා මෙදා තුර මැනවින් පවත්වා ගෙන යන තැනැත්තෙකි. ඔහු අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයායි. එමෙන්ම ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපතිවරයායි. ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරයායි.

එබඳු තනතුරු දරන අය සාමාන්‍යයෙන් ජීවත් වන්නේ ඔටුනු කිහිපයක් පැලඳ ගෙනයි. නමුත් අප දන්නා සමන් අතාවුදහෙට්ටි කවදත් ඒ ඔටුනු ගලවා ගෙන පොළොවට පය තබා ජීවත් වෙන තැනැත්තෙක්.

මේ පොතේ කර්තෘවරයා සමන්ලා අතර අංක එක බවට පත් වන්නේ ඔහුගේ වෘත්තීය ජීවිතයේ මෙන්ම නිර්මාණ ජීවිතයේද ඔහු මේ තාක් පැවැතුණු ආකාරය අනුවයි. ලංකාවේ ප්‍රසංග වේදිකාවේ සංගීත වැඩසටහන් ඉදිරිපත් කරන්නන් අතර අංක එක සමන්ය. ඔහුට සුමධුර හඬක් තිබනෙවා. එමෙන්ම ඔහුගේ භාෂා උච්චාරණය නිරාකූලයි. නිරවද්‍යයි. ඔහු වැඩසටහන් ඉදිරිපත් කරන්නේ ඔහුටම ආවේණික වූ භාෂා ශෛලියකින්.

වෙළෙඳ දැන්වීම්කරුවන් ඔහුගේ හඬ ලබා ගන්නේ අධික මිල ගෙවීමකින් වුවත් ඔහු ආගමික, සමාජයීය, සාහිත්‍යමය කටයුතුවලට සහභාගි වන්නේ තමන්ගේ අනිත් වියදම් කර ගෙනයි. ඒ සමන් අතාවුදහෙට්ටිගේ හැටි. ඔහු ජීවත් වන ආකාරය සමන් කවි පොතේ ලියා පළ නොකළත් ඔහු තුළ ඉතා විශිෂ්ට කවියෙක් සැඟව සිටිනවා. ඒ බව ඔහු ලියූ ගීත අතළොස්සෙන් වුවත් වටහා ගත හැකියි. ඒ වගේම ඔහුගේ සංචාරක සටහන් පෙළ ඔහුගේ කවීත්වයට නිදර්ශන සපයනවා. විශේෂයෙන් ඔහුගේ "සොඳුරු සැරිසර" සංචාරක සටහන් මාලාව ඔහුගේ කවිත්වයට මනා නිදර්ශන සපයනවා.

අද එළිදැක්වෙන්නේ ඒ සංචාරක ලිපි මාලාවෙ තෙවැන්න වූ "සක්වළ පියස දිගේ" නමැති කෘතියයි. මට හැඟෙන ආකාරයට සක්වළ පියස යට යනු සමන් 2012දී පළ කළ "සේද මාවත දිගේ" කෘතියේම දිගුවක් බවයි. එම සේද මාවත දිගේ කෘතියේ අඩංගු වී ඇත්තේ චීනය පිළිබඳ සංචාරක සටහන් මාලාවක්. එමෙන්ම මේ "සක්වළ පියස දිගේ" යන කෘතියේද ඇතුළත් වන්නේ චීනය පිළිබඳ සංචාරක සටහන් මාලාවක්. චීනයට සමන්වත් සමන්ට චීනයවත් කවදාවත් එපා නොවන බවයි මේ පොත් දෙකෙන් ප්‍රකාශ වන්නේ. ඒ වගේම මේ සක්වළ පියස යට කෘතිය කියවන සිංහල පාඨකයාට සමන් චීනය ගැන කෙතරම් ලිව්වත් එය එපා නොවන කෘතියක්. මන්ද යත් "සේද මාවත දිගේ" මෙන්ම "සක්වළ පියස දිගේ" කෘතියත් ඉතා අභිරුචියකින් කියවා ඇති කෘතියක් නිසා.

සමන් චීනය ගැන සංචාරක සටහන් ලියන්නට කලින් ඒ වගේම ශ්‍රී ලංකාවට අන්තර්ජාල පහසුකම් සපයන්නටත් කලින් මෙම පාඨකයා මෙම සාහිත්‍ය රචකයා චීනය දුටුවේ චීන සාහිත්‍ය කෘති තුළින්. සිංහල පාඨකයා චීනය හඳුනා ගෙන සිටියේ බාගින්ගේ පවුල, චූ චැං චෙන්ගේ වානරයා, යං සුවගේ හිම පියළි, කා කෝ යූ පාවෝගේ මගේ කුමර දිවිය, මාවෝ සේතුංගේ කලාව හා සාහිත්‍ය බඳු කෘතිවලිනුයි. ඒ වගේම හියුං සියෑන් ගැන, පාහියන් ගැන, කොන්ෆියුසිසස් ගැන, චීන මහා ප්‍රාකාරය ගැන සිංහල සාහිත්‍ය රසිකයන් දැන සිටියා.

එහෙත් නූතන චීනයේ සෞන්දර්ය, චමත්කාරය, විචිත්‍රත්වය, රමණීයත්වය නම් සිංහල සාහිත්‍ය රචකයන් දුටුවේ සමන් අතාවුදහෙට්ටිගේ ඇසින්. ඒ සමන්ගේ සංචාරක සටහන්වලින්. සේද මාවත දිගේ කෘතියේ ආ චීන සංචාරක සටහන් 31ම සෞන්දර්යවාදීයි. සක්වළ පියස දිගේ කෘතියේ එන චීන සංචාරක සටහන් 32න් 25ක්ම සෞන්දර්යාත්මකයි. එහි අනෙක් සංචාරක සටහන් 7 අද දවසේ ශ්‍රී ලංකාවට සුවිශේෂයි. ඊට හේතුව අද ලංකාවේ නිරන්තරව කතා බහට ලක් වන අල්ලස් ගැනීම් වැනි වංචා දූෂණ, පරිසර දූෂණ ආදිය සම්බන්ධයෙන් චීනය ක්‍රියා කරන ආකාරය මෙන්ම එන්ජීඕ සම්බන්ධයෙන් චීනය ක්‍රියා කරන ආකාරයත් ඒ සටහන්වල අපූරුවට වාර්තා වී ඇති නිසයි.

චීනයේ අල්ලසට හා දූණයට ලබා දෙන්නේ මරණ දඬුවමයි. එය යහපත් කල් ක්‍රියාව නිසා ජීවිතාන්තය දක්වා ලිහිල් වන්නේ නැහැ. ඒ වගේම ජනාධිපති සමාව යටතේ කිසිදා නිදහස් වන්නේත් නැහැ. මේ කරුණු ලක් වැසියන්ගේ ඇස් උඩ ඉන්දවන ආකාරයේ සංචාරක සටහන්. ඒ වගේම අල්ලස්වලට හසුවූවන් අතර චීනයේ කොමියුනිස්ට් පක්ෂ නායකයන්, හිටපු අභ්‍යන්තර ආරක්ෂක ඇමැතිවරුන් සිටින බව අසන්නට ලැබීමත් ලක් වැසියන් ක්ලාන්ත වී වැටෙන ආකාරයේ ආරංචියි. මේ අන්දමට චීනයේ අල්ලස් හා

දූෂණයට යොමු වන පුංචි මැසි මදුරුවන් පමණක් නොව, ඉහළ අහසේ සරන මකරුන් පවා අල්ලස් දැලට හසු කර ගත යුතු බව චීන ජනාධිපති ප්‍රකාශ කර තිබුණත් ඒ අනුව චීන දැලට මකරුන් හසු වුවත් අපේ රටේ ඒ දැලට හසු වන්නේ කෝඳුරුවන් බව කියන්නටත් සමන් මේ කෘතියේ පසුබට වී නැහැ.

ඒ වගේම ලංකාවට වැදගත් වන්නා වූ තවත් කරුණු රැසක් "සක්වළ පියස දිගේ" කෘතියෙන් අනාවරණය වෙනවා. එයින් එක් කරුණක් නම් දවසේ 24 පැය පුරා ඕනෑම වෙලාවක ක්‍රියාත්මක වන 12345 අංක කරකවා එදිනෙදා ජීවිතයේ ඕනෑම ප්‍රශ්නයක් විස¼දා ගත හැකි ජිනෑන් නුවර පොදු සේවා කේන්ද්‍රස්ථානයයි.
එමෙන්ම එන්ජීඕ කියන අකුරු තුනට අපේ රට බිය වුණත් 2014 වන විට චීනයේ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධාන ලක්ෂ 5ක්, ලියාපදිංචි නොවූ රාජ්‍ය නොවන සංවිධාන ලක්ෂ 15ක් ක්‍රියාත්මක වන බව දැනගන්නට ලැබීම ලංකාවේ පාඨකයන්ට ඉතා වැදගත්.

සමන්ගේ සමස්ත චාරිකා සටහන් පෙළ අතර ඇති වඩාත් ත්‍රාසජනක සටහන් ඇත්තේ මේ සක්වළ පියස දිගේ කෘතියේයි. ඒ ත්‍රාසජනක සටහන් වනාහි ඔහු ලාසා නුවර දක්වා ජිංහයි ටිබෙට් කෝච්චියේ ගිය ගමන පිළිබඳ ලියූ සංචාරක සටහනයි. එහිදී ඔහු ඔක්සිජන් උෟනතාවයෙන් පෙළෙමින් කෙඳිරිගාමින් ගිය ගමන ඔහු තුළ පවතින සංචාරය උමතුව පෙන්වා දෙනවා. ඒ කෙඳිරිගාමින් ගිය ගමන පිළිබඳ බිහිසුණු අත්දැකීම චමත්කාරජනක ලෙස කෙළවර වන්නේ ඔහු මෙම කෘතිය අවසානයට ඉදිරිපත් කර ඇති වෙං චෙන් එළිමහන් ඔපෙරා රංග භූමිය ගැන කරන විස්තරය සහ වෙං චෙන් කුමරිය සම්බන්ධ ඔපෙරාව පිළිබඳ කරන අපූරු විස්තරයකින්. ටිබෙටය ගැන අප නෑසූ අප නොදන්නා කරුණු ගණනාවක් මේ කෘතිය මඟින් ලාංකේය පාඨකයන් වෙත ඉදිරිපත් කරනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්