ලංවිම සේවකයෝ පොල් ගසා පන්දම්පාලි පවත්වා දෙවියන් යදිමින් වැඩ වර්ජනය අරඹති

  👤  2976 readers have read this article !
By mawbima 2017-09-14

උපතිස්ස පෙරේරා

2015 මහා වැටුප් මංකොල්ලය හේතුවෙන් ඇතිවූ වැටුප් විසමතාවට විසඳුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලංවිම වෘත්තීය සමිති 33ක් ඒකාබද්ධව ඊයේ (13දා) දහවල් 12 සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කළහ.
කොටුව ලංවිම මූලස්ථානය අබියසදී මල් පැලක් ඉදිකර පොල් ගසා පන්දම් පාලියක් පවත්වා දෙවියන්ට යාදිනි කියමින් ආරම්භ කළ මේ වැඩ වර්ජනයට එජාපයට අනුබද්ධ ජාතික සේවක සංගමය, ශ්‍රී ලනිප වෘත්තීය සමිතිය ඇතුළු වෘත්තීය සමිති නායකයෝ පෙරමුණ ගෙන ක්‍රියා කළ අතර ලංවිම සේවක සේවිකාවෝ විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

පසුගිය රජය 2014දී තම බලය තහවුරු කර ගැනීම පිණිස ලංවිම පාලනාධිකාරියට ලබා දුන් සියයට 70-120ක්වූ වැටුප් වර්ධක කප්පම හේතුවෙන් එතෙක් 1:6ක්ව තිබූ වැටුප් අනුපාතය 1:9 දක්වා ඉහළ යෑමෙන් ඇතිවූ වැටුප් විසමතාවට අගෝස්තු මාසය තුළදී විසඳුම් ලබා දෙන බවට අමාත්‍යවරයා ලබාදුන් ප්‍රතිඥාව කඩ කිරීම හේතුවෙන් මේ වැඩ වර්ජනය ආරම්භ කළ බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා එහිදී සඳහන් කළේය.
වැටුප් විසමතාව ඉවත් කිරීම, මහජන මුදල් කොල්ලකන දූෂිතයන්ට දඬුවම් පැමිණවීම, ලංවිම ව්ඍශ්‍රී වහල් සේවය අහෝසි කිරීම, වෘත්තීය සමිති මර්දනය හා පළිගැනීම් වහා නැවැත්වීම, ලංවිම සේවක අර්ථ සාධක අරමුදලේ මූල්‍ය වංචාව පිළිබඳ පරීක්ෂණ, ලංවිම තාක්ෂණ සේවකයන්ට අවදානම් දීමනාව ලබාදීම ආදී වූ කරුණු කිහිපයක් ලංවිම වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ ඉල්ලීම් අතර වෙයි.

තම ඉල්ලීම්වලට දෙදිනක් තුළ විසඳුම් නොලැබුණහොත් හෙට (15දා) දහවල් සිට මෙය අඛණ්ඩ වැඩ වර්ජනයක් බවට පරිවර්තනය කරන බව ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා එහිදී අවධාරණය කළේය.

2015 වැටුප් කොල්ලයෙන් අසාධාරණයට ලක්වූ ඡ් වැටුප් තලයට අයත් නොවන සියලු විධායක හා විධායක නොවන සියලුම ක්ෂේත්‍රවල සේවක සේවිකාවන් මේ වැඩවර්ජනයට එක්ව සිටින බවත් 2015ට පෙර පැවැති ආකාරයට වැටුප් පරතර විසමතාව විසඳුවේ නැත්නම් තත්ත්වය ඉතාමත් දරුණු වනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

ලංවිම සේවක අර්ථ සාධක අරමුදලේ රුපියල් බිලියන ගණනක වංචා හේතුවෙන් තම සේවක අර්ථ සාධක අරමුදල් රුපියල් ලක්ෂ 7-8ක් හිඟ සහිතව ගෙදර යෑමට සේවකයන්ට සිදුව ඇතැයිද පාලනාධිකාරියේ එක් අයකුට රුපියල් 79,000ක් බාධක දීමනාව ලැබුණත් විදුලි කණු මත දිවා රෑ අව්ව වැස්ස නොබලා දුෂ්කර මෙහෙවරක නියැළෙන අසරණ සේවකයන්ට බාධක දීමනාවක් නොලැබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

හොර ගුහාවක් වී ඇති ලංවිම ජනතාවට දරා ගැනීමට බැරි විදුලි බිලක් අය කරමින් එහි පාලනාධිකාරිය සිදුකරන වංචා දූෂණ හා අක්‍රමිකතාවලට එරෙහිව නැඟී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්