කූට ලේඛන මඟින් කාර්යාල කාර්ය සහායක සහ මුරකරු පත්වීම් දුන් උතුරු මැද ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව පරීක්ෂණයක් කරන්න

  👤  2974 readers have read this article !
By mawbima 2017-09-14

අනුරාධපුර _ එරන්ද ශෂිප්‍රිය

උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් කූට ලේඛන සකස් කරමින් එම පළාතේ පාසල්වලට කාර්යාල කාර්ය සහායක පත්වීම් සහ මුරකරු පත්වීම් ලබාදී ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර මහතාට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා උතුරු මැද පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි නීතිඥ කස්තුරි අනුරාධනායක මහතා එම පළාත් නියෝජ්‍ය පොලිස්පති ප්‍රභාත් සඳුන්ගහවත්ත මහතා වෙත ඉකුත්දා (11දා) ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

එම සිද්ධියට සම්බන්ධ පළාත් සභාවේ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන්ද රාජ්‍ය මුදල් රෙගුලාසි සහ ආයතන සංග්‍රහය අනුව කටයුතු කරන ලෙස උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් එච්. එම්. පී. බණ්ඩාර මහතාගෙන්ද මන්ත්‍රිවරයා ලිඛිතව ඉල්ලීමක් කොට තිබේ.

මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා වැරැදිකරුවන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නැයි ඉල්ලා සිටිමින් පළාත් සභා මන්ත්‍රි කස්තුරි අනුරාධනායක මහතා උතුරුමැද පළාත් ආණ්ඩුකාර පී. බී. දිසානායක මහතාට, එම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට, ජනාධිපති විමර්ශන ඒකකයට, රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශයන්හි ලේකම්වරුන්ට සහ රජයේ විගණකාධිපතිවරයාට අදාළ පැමිණිල්ලේ පිටපත් යොමු කොට ඇත.

මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා උතුරු මැද පළාත් විපක්ෂ නායක කාර්යාලයේදී පෙරේදා (11දා) සවස පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අනුරාධනායක මහතා මෙසේ පැවැසීය.

පසුගිය වසරේ මාර්තු මස 26 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පළාතේ පාසල් සඳහා කාර්යාල කාර්ය සහායක පත්වීම් 53ක් සහ මුරකරු පත්වීම් 16ක් ලබා දීලා තිබෙනවා. නියමිත කාර්ය පටිපාටියෙන් බැහැරව ඉල්ලුම්පත් කැඳවීමක් හෝ සිදු නොකොට සම්මුඛ පරීක්ෂණ නොපවත්වා අල්ලස් මත සහ දේශපාලන හිතවත්කම් මත එම පත්වීම් ලබා දී ඇති බවට ජනතාව අතර රාවයක් පැතිර ගියා.

ඒ හේතුවෙන් පළාත් සභාවේ එවකට මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කළ වත්මන් සභාපති ඩී. එම්. අමරතුංග මහතා පළාත් සභාවේදී මේ ගැන ප්‍රශ්න කළා. ඒ ගැන පසුගිය වසරේ ජූලි මස 28 වැනිදා ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න බණ්ඩාර මහතා විසින් සභාගත කළ ලිඛිත පිළිතුරෙහි අන්තර්ගත කරුණු කෙරෙහි විමසිලිමත්ව අවධානය යොමු කිරීමේදී අදාළ සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වූ අයට ලකුණු අනූවකට වැඩි අසාමාන්‍ය ලකුණු සංඛ්‍යාවකුත් අසමත් අයට අසාමාන්‍ය ලෙස අඩු ලකුණු සඛ්‍යාවකුත් ලබාදී තිබුණා. ඒ අනුව එම ලේඛනය තවදුරටත් පරීක්ෂා කර බැලීමේදී අදාළ සම්මුඛ පරීක්ෂණයේදී අඩු ලකුණු ලබා අසමත්වූ ඇතැම් පුද්ගලයන් 2015 වසරේ ජුනි මාසයේ පාසල්වල කාර්යාල සහායක සහ මුරකරු පත්වීම් ලබා ඒ වන විට රාජ්‍ය සේවයේ යෙදී සිටින පුද්ගලයන් බවත් සනාථ වී තිබෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්