කිතුනු සමාජයෙන් නැඟෙන දේශප්‍රේමී හඬ

  👤  3311 readers have read this article !
By mawbima 2017-09-13

මෑත භාගයේ මෙරට කතාබහට යොමුවන විවිධ ජාතික ආගමික හා සමාජයීය ප්‍රශ්නවලදී ගරු සරත් හෙට්ටිආරච්චි පියතුමන්ගේ නම අසන්නට කියවන්නට ලැබේ. දේශයට එතුමා තුළ ඇති අසීමිත භක්තියටත් ජනතාව කෙරෙහි එතුමා තුළ ඇති ඉමහත් ආදරයත්් නිසා එළැඹෙන්නා වූ සියලු ප්‍රශ්න හා ගැටලුවලදී එතුමෝ සිය මතය අභීතව ලියති. කියති. කිතුනු සමාජයක් තුළින් එබඳු හඬක්, දැක්මක් අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. කවර අන්දමේ බාධා පැමිණියත් තම නිදහස් නිවහල් චින්තනය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීමට එතුමෝ සමත්වී සිටිති.

දේශය බලවත් ත්‍රස්ත අර්බුදයකට මුහුණ පා සිටි ඉකුත් දශක කිහිපයේදී ජාතික සමඟියත් ආගමික සංහිඳියාවත් වෙනුවෙන් පෙනී සිට රටට සාමය උදාකර දීම වෙනුවෙන් සක්‍රිය සේවාවක් ඉටු කිරීමට කිතුනු සමාජය වෙනුවෙන් ඉදිරිපත් වූ ප්‍රබුද්ධ පූජකවරුන් අතරින් ප්‍රධානතම කෙනකු ලෙස සරත් හෙට්ටිආරච්චි පියතුමා ජනාදරයට පත්වී සිටිති. උද්ගත වී පැවැති ජනවාර්ගික හා දේශපාලන ගැටලු ගැටුමකින් තොරව සාකච්ඡා මඟින් විස¼දා ගැනීමේ අගය පහදා දීම සඳහා විවිධ අවස්ථාවන්වලදී විවිධ ආගමික නායකයන් හා උතුරු - නැඟෙනහිර ප්‍රදේශ කරා ගමන් කරමින් සරත් හෙට්ටිආරච්චි පියතුමන් කළ මෙහෙවර අගය කළ යුතුය.

ජාතික සමඟිය සඳහා වන අන්තර් ආගමික සන්ධානයේ ආරම්භක සාමාජිකයකු ලෙසත් සම සභාපතිවරයකු ලෙසත් ක්‍රියා කරන පියතුමන්ගේ අභිලාශය වන්නේ දේශයේ සියලු ජාතිකයන් හා ආගමිකයන් එකම සමඟි බැම්මකින් බැඳී සිටිනු දැකීමය. එම අරමුණු සාක්ෂාත් කළ හැකියැයි විශ්වාසය තබන සෑම මාර්ගයකම එතුමා නියැළී සිටින්නේය. එසේම වැඩසටහන් රැසක්ම එතුමා ක්‍රියාත්මක කොට ඇත්තේය.

පියතුමා විවිධ විෂයන් අලළා ග්‍රන්ථ රැසක් ශාස්ත්‍රපති ඉන්දිකා සංජනී මෙනෙවිය සමඟ සම්පාදනය කොට ජනාදරය දිනාගෙන සිටී. එතුමාගේ නවතම නිර්මාණය වන්නේ මෙතෙක් කිසිවකුගේ අවධානය යොමු නොවූ පැතිකඩක් ඔස්සේ පන්සිය පනස් ජාතක පොත විමර්ශනයට ලක් කිරීමය.

මීට අමතරව ඉන්දිකා මෙනෙවිය සමඟ එක්ව සිරගෙදර කතුන් පිළිබඳව කළ සමාජ විද්‍යා විග්‍රහය නොහඳුනන ගැහැනිය, ජාතක පෙතෙන් සහ බයිබලයෙන් මතුවන ළමා කතා, සිවු මහ ආගම්වලින් මතුවන ළමා කතා, නත්තලේ සංස්කෘතික අසිරිය, ලොව වටා නත්තල්, සාමයේ ගීතය, ජන ආගම ජනප්‍රිය බුද්ධාගම සහ ශ්‍රී ලංකාවේ කිතුනු ආගම ආදී පොත්පත් 20කට නොවැඩි සංඛ්‍යාවක් ලියා පාඨක ජනාදරයට පත්ව ඇත.

බෞද්ධ ජනතාවගේ අති මහත් ගෞරවාදරයට පත්වූ මෙම පන්සිය පනස් ජාතක පොත නම් බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථය කිතුනු පූජකවරයකු විසින් මෙලෙස ශාස්ත්‍රීය ගවේෂණයකට යොමු කොට ජාතික විශ්වවිද්‍යාලයක දර්ශනපති උපාධියකින් සම්මානිත වීම සියලු ශාස්ත්‍රලාභීන්ගේ ඉමහත් සතුටට හේතුවනවාට සැකයක් නැත.
එතුමා ශ්‍රී ලාංකේය සමාජයට හඳුන්වා දෙනු ලැබූ ගමටම නත්තල්, පන්සලයි පල්ලියයි. සිංහල හා දමිළ අලුත් අවුරුද්දයි හා සාමයේ ගීතය වැනි මහා සංස්කෘතික මංගල්‍යයන් දිවයින පුරා සාර්ථක ලෙස පවත්වා සිංහල, දමිළ හා මුස්ලිම් සමඟිය සඳහා ප්‍රශංසනීය අත්වැලක් සපයා ඇත.

සිංහල, දමිළ, මුස්ලිම් ජනතාවගේ සැබෑ මිතුරකු වූ දර්ශනපති සරත් හෙට්ටිආරච්චි පියතුමා අද සිය 55 වැනි ජන්ම දිනය සමරයි. මේ වැදගත් අවස්ථාවේ අපගේ උණුසුම් සුබ පැතුම් එතුමාණන්ට පුද කරන අතර දැනට බරපතළ රෝගී තත්ත්වයකින් පසුවන එතුමාට නිරෝගී සුවය ලැබී තවදුරටත් ශ්‍රී ලාංකේය ජන සමාජයේ ආගමික හා ජනවාර්ගික මිත්‍රත්වය සඳහා නිර්මාණාත්මක මෙහෙවරක යෙදෙන්නට සියලු දෙවියන්ගේ ආශීිර්වාදයත්, තිසරණ සරණත් ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

ජාතික හා ආගමික සමඟිය සඳහා වන
අන්තර් ආගමික සන්ධානයේ සභාපති
සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති
මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්