අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ විනෝද චාරිකාවක් නිසා වකුගඩු බද්ධයක් මඟහැරිලා

  👤  3323 readers have read this article !
By mawbima 2017-09-13

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට වඩා වාර්ෂිකව සංවිධාන කරන විනෝද චාරිකාව වැදගත් අංගයක් බවට පත්වීම නිසා වකුගඩු අකර්මණ්‍ය වී ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූ වකුගඩු රෝගීන් දෙදෙනකුට වකුගඩු බද්ධ කිරීමට තිබූ අවස්ථාව ගිලිහී යෑමක් පිළිබඳව අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ සේවක පිරිසක් අනාවරණය කළහ.
මේ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම දෙක පසුගිය සිකුරාදා දිනයේ සිදුකිරීමට නියමිතව තිබුණත් එම වකුගඩු බද්ධ කිරීම සඳහා සූදානම් කර තිබූ ශල්‍යාගාරයේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලය එදිනට වාර්ෂික විනෝද චාරිකාව යොදාගෙන තිබූ අතර වකුගඩු දෙක පරිත්‍යාග කිරීමට සූදානමින් සිටි රෝගියා ඉරිදා දිනය වන විට මියගොස් තිබිණි.

වකුගඩු අකර්මණ්‍ය වීම නිසා රෝගීව සිටි අහිංසක රෝගීන් දෙදෙනකු වකුගඩු බද්ධ කිරීම අපේක්‍ෂාවෙන් සිටියත් මේ වන විට ඔවුන්ගේ අපේක්‍ෂාවන් සුන් වී ගොස් ඇති බව රෝහල් කාර්ය මණ්ඩලය අනාවරණය කළේය. රිය අනතුරකට ලක්වීමෙන් මොළයේ ක්‍රියාකාරීත්වය අහිමි වූ රෝගියකු අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ඇති අතර ඔහුගේ ඥාතීන් රෝගියා මියයෑමට පෙර වකුගඩු දෙක පරිත්‍යාග කර අසරණ ජීවිත දෙකක් ජීවත් කරවීමේ බලාපොරොත්තුවෙන් සිටි බවද ඔවුහු පැවැසූහ.
පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ වකුගඩු නිවාරණ ඒකකය මඟින් රෝගීන් දෙදෙනාගේ රුධිර කාන්දුකරණ (ඩයිලයිසීස්) කටයුතු සිදුකර සැත්කමට සූදානම් කර සිටියත් එම ශල්‍යකර්මය සිදුකිරීම සඳහා ශල්‍යාගාර පහසුකම් නොමැති බව පසුව දැනගෙන තිබේ.

රෝහලේ එක් ශල්‍යාගාරයක සේවය කරන කණ්ඩායමක් අධික රාජකාරිවලින් පසුව නිවාඩු ලබාගෙන ඇති නිසාත් තවත් ශල්‍යාගාරයක සේවක කණ්ඩායම වාර්ෂික විනෝද චාරිකාවකට සහභාගි වීම නිසාත් සැත්කම ප්‍රමාද වී වකුගඩු දායකයා මියගොස් ඇති බව ඔවුහු වැඩිදුරටත් පැවැසූහ.
අසරණ වකුගඩු රෝගීන් දෙදෙනකුගේ ජීවිත බේරා ගැනීමට තිබූ අවස්ථාව ගිලිහී යෑම සම්බන්ධයෙන් අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය දුලාන් වීරවර්ධන මහතාගෙන් දුරකතනයෙන් සිදුකළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවැසුවේය.

"රෝගියා මැරුණට වකුගඩු දෙක බද්ධ කරන්න බැරි වෙන්නේ නෑ. වාර්ෂික විනෝද චාරිකාව කලින් අනුමැතිය ගත්ත එකක්. එක එක අංශවල ඉන්න අය අමනාපකම් නිසා විවිධ පාර්ශ්වවලට චෝදනා එල්ල කරනවා. මම ඔය සිද්ධිය පිළිබඳව දන්නෑ. මොකක්ද වෙලා තියෙන්නේ කියලා මම සොයා බැලීමක් කරනවා."

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්