ටෙන්ඩර් ගැටුම විදුලි බිල ඉහළ යෑමට හේතු වේවි

  👤  3246 readers have read this article !
By mawbima 2017-09-13

හර්ෂනී අර්සකුලරත්න

කෙරවළපිටිය එල්.එන්.ජී. විදුලි බලාගාරය ඉදිකිරීමට කැඳවූ ටෙන්ඩරය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් හා දේශපාලන නායකත්වය අතර ඇතිවී තිබෙන ගැටුම හේතුවෙන් අනිවාර්යයෙන්ම විදුලි බිල ඉහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම ටෙන්ඩරය තාක්ෂණික කමිටු නිර්දේශ මත තෝරාගත් කොරියානු සමාගමක් වෙත ප්‍රදානය කිරීමට විදුලිබල අමාත්‍යාංශය උත්සාහ දැරූ බවත් ඒ සමඟම එම ටෙන්ඩරය අහිමිවූ දේශපාලනයට සම්බන්ධ ව්‍යාපාරිකයන් මෙම ටෙන්ඩරය කඩාකප්පල් කිරීමට සැලසුම් සහගතව උත්සාහ දරමින් සිටින බවත් ඔහු එම නිවේදනයේ දක්වා තිබේ.
තාක්ෂණික කමිටුවේ හා ටෙන්ඩර් කමිටුවේ නිලධාරීන්ට ඔවුන් තර්ජනය කිරීමත් සමඟ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් ටෙන්ඩර් කමිටුවෙන් ඉල්ලා අස්වූ බවද එහි සඳහන් වේ.

මේ අනුව සුදුසුකම් සපුරා ඇති බව පවසන සමාගම වෙත ටෙන්ඩරය ප්‍රදානය කිරීමද මේ වනවිට දේශපාලන බලපෑම මත නවතා දමා ඇති බවද ආර්ථික කළමනාකරණය සඳහා වූ කැබිනට් කමිටුවේ හා දේශපාලන බලපෑම් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත එල්ල වී ඇති බවද හෙතෙම එම නිවේදනයේ පවසයි.
සුදුසුකම් සපුරා නොමැති තෝරාගත් ආයතන 6ක ටෙන්ඩර් අයැදුම්පත් විවෘත කරන ලෙස ඔවුන් අමාත්‍යාංශ ලේකම්වරයාට බලපෑම් කර ඇති බවද එහි සඳහන් වේ.
මීට අමතරව මේ ටෙන්ඩරය කඩාකප්පල් වීමෙන් විදුලිබල ඉන්ජිනේරුවන් හා පෞද්ගලික ඩීසල් විදුලි ව්‍යාපාරිකයන් ක්ෂණික විදුලිය මිලදී ගැනීම් හරහා තමන්ට අති විශාල ලාභයක් ලබාගැනීමේ අරමුණින් කටයුතු කරමින් සිටින බවද හෙතෙම සිය නිවේදනයෙන් පවසයි.

ටෙන්ඩරයේ අඩුපාඩු සකස් වන්නේ නම් සියලු ටෙන්ඩර්කරුවන් වෙත සාධාරණ අවස්ථාවක් හිමිවිය යුතු බවත් රාජ්‍ය නිලධාරීන් වෙත දේශපාලන ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාව මත පීඩනයක් එල්ල කිරීම සිදු නොවිය යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

කෙරවළපිටිය විදුලි බලාගාර ටෙන්ඩරය විනිවිදභාවයකින් යුතුව නිසි තාක්ෂණික ඇගැයීම් නිර්දේශ මත පිරිනැමිය යුතු බවත් ඊට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් එම නිවේදනයේ දැක්වේ.

එසේම විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය මෙරට දූෂිතම ටෙන්ඩර් ගනුදෙනු අතර ඉදිරියෙන්ම සිටින බවත් ගල් අඟුරු මිලදී ගැනීම, ජෙනරේටර් මිලදී ගැනීම, ඩීසල් විදුලිය පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීම ආදී අක්‍රමිකතා දිගින් දිගටම පවත්වාගෙන යන ආයතනයක් බවට පසුගිය වසර හතරක කාලය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කර ඇතැයිද එම නිවේදනයේ දැක්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්