නිකන් ඉඳන් පඩි අරන් යළි අමාත්‍යාංශයට මාරු කරලා

  👤  3312 readers have read this article !
By mawbima 2017-09-13

දඹුල්ල - කේ.කේ. ආරියදාස

කිසිදු වාහනයක් නොමැති නාවුල ශ්‍රී නාග ජාතික පාසලේ සේවය කිරීම සඳහා වසර එකහමාරකට පෙර සිට රියැදුරු පත්වීමක් ලබා දී නොමිලේ වැටුප් දුන් රියැදුරුට පෙරේදා (11දා) සිට නැවත අධ්‍යාපන අමාත්‍යාංශයට ස්ථාන මාරුවක් ලබා දී තිබේ.
මෙසේ ජනතා වැටුප් ලබා දෙමින් රැකියා ලබා දී ඇති බව පසුගියදා මාධ්‍ය මඟින් අනාවරණය කිරීමත් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශය මේ ස්ථාන මාරුව පාසලට ලිඛිතව දන්වා එවා තිබේ.

මේ රියැදුරු ස්ථාන මාරුව ලබාගත්තේද යන්න අප විදුහල්පති ටියුඩර් පෙරේරා මහතාගෙන් විමසීමේදී කීවේ ස්ථාන මාරු ලිපිය භාරදීම සඳහා රියැදුරු මහතා එම ප්‍රවෘත්තිය පළවූ දිනයේ සිට සේවයට වාර්තා නොකර අසනීප නිවාඩු වාර්තා කර තිබෙන බවය.
නාවුල ශ්‍රී නාග පාසලට අඩුම තරමේ පාපැදියක් හෝ නොමැතිව තිබියදී මෙසේ සේවකයන්ට නව පත්වීම් ලබාදී වසර එකහමාරක කාලයක් රියැදුරකු ලෙස වැටුප් ගෙවා ඇති බවත් දැනටමත් අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 15ක් පමණ සිටින බවත් මවුපියෝ කියති.
මේ ආකාරයෙන් පසුගිය කාලයේ දඹුල්ල ජාතික පාසලට අරක්කැමියන් දෙදෙනකු සේවයට එවා තිබිණි. මාධ්‍ය වාර්තා පළවීමත් සමඟ එම සේවකයන් දෙදෙනා ස්ථාන මාරු කරවා තිබිණි.
මේ පත්වීම් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාගෙන් විමසීමක් කළෙමු.
ප්‍රශ්නය - ලේකම්තුමා නාවුල ශ්‍රී නාග ජාතික පාසලට වාහනයක් නැතිව රියදුරකු එවලා අවුරුදු එකහමාරක් නිකන් මහජන මුදල් ගෙවලා තියෙනවා නේද?
පිළිතුර - ඔව් ඕගොල්ලන්ගෙ පත්තරෙන් දැක්කා. කාඩර්වල අනුව තමයි යොදවල තියෙන්නේ. පාසලට වාහනයක් ගන්න ඕනේ. ඕක ආදි ශිෂ්‍ය සංගමයෙන් දීපු එකක්. විදුහල්පතිතුමත් දැනගන්න ඕනේ වාහනයක් නැතිනම් කියන්න.

ප්‍රශ්නය - හැබැයි ලේකම්තුමා විදුහල්පතිවරයා මේ ගැන ලිඛිතව දැනුම් දීලා තියෙනවා.
පිළිතුර - මම නම් දැක්කේ නෑ. එව්වානම් සලකා බලනවානේ.
ප්‍රශ්නය - හැබැයි ලේකම්තුමා විදුහල්පතිවරයා මේ ගැන ලිඛිතව දැනුම් දීලා තියෙනවා. කලාප කාර්යාලයත් ඒක පිළිගන්නවා.
පිළිතුර - හරි දැන් ඉතින් ඒක නිවැරැදි කරලා තියෙනවා එච්චරයි කතාව.

ප්‍රශ්නය - වාහනයක් නැතිව රියැදුරකු එවලා අවුරුදු එකහමාරක් නිකං මහජන මුදල් ගෙවලා තියෙනවා නේද?
පිළිතුර - එයාට අයිතියක් තියෙනවා පඩිය ගන්න. වැඩ ගන්න තියෙන්නේ ආයතන ප්‍රධානියාට. වාහනයක් නැතිනම් වෙන වැඩක් ගන්න පුළුවන්.
ප්‍රශ්නය - මාධ්‍ය මඟින් පෙන්වනකම් අමාත්‍යාංශයේ නිලධාරීන් මේ පත්වීම නොදැක ජනතා මුදල් විනාශ කරලා නේද? මේකත් සිල් රෙදි සිද්ධිය වගේ නේද?
පිළිතුර - අනවශ්‍ය ප්‍රශ්න වැඩක් නෑ. දැන් එය නිවැරැදි කරලා අවසන්.

අමාත්‍යාංශ ලේකම්වරයා කියූ පරිදි නාවුල ශ්‍රී නාග ජාතික පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති එල්.සී. ඒකනායක මහතාගෙන් විමසීමේදී කීවේ තම සංගමය එවැනි රියැදුරකු හෝ වාහනයක්වත් ඉල්ලීමක් කර නැති බව වගකීමෙන් පවසන බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්