දියණිය සෙනඟ අතරින් රිංගලා ජනාධිපතිතුමා ළඟට ගිහින්

  👤  3391 readers have read this article !
By mawbima 2017-09-13

තමන්කඩුව - ගාමිණි ඔබේසේකර

බහ තේරෙන වයසේදී පටන් ලොකු දුව ජනාධිපති මෛත්‍රි සීයා බලන්න ඕනෑ කියනවා. රූපවාහිනියේ ප්‍රවෘත්ති ප්‍රකාශවලදී ජනාධිපතිතුමාගේ රූපය දැකපු ගමන් අන්න මෛත්‍රි සීයා ඉන්නවා කියමින් ඒ වැඩසටහන් බලන්න පුරුදු වී සිටිනවා යැයි මැදිරිගිරියේ අමුණුගම ගම්මානයේ පදිංචි යුරේෂා ලක්මාලි මහත්මිය 'මව්බිම'ට පැවැසුවාය.
පසුගිය 10දා මැදිරිගිරියේ මිරිස්හේන ගම්මානයේදී පැවැති ජනහමුවකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවට පැමිණි තුන් හැවිරිදි දනුල්‍යා චනාදි දැරිය කිසිදු චකිතයකින් තොරව ජනාධිපතිතුමාගේ ඔඩොක්කුවේ වාඩි වී විනාඩි 20කට අධික කාලයක් සතුටු සාමිච්චියේ යෙදී සිටියාය.
මෙම සිද්ධිය පිළිබඳව විමසීමට මැදිරිගිරියේ අමුණුගම ගමේ පදිංචි දනුල්‍යා චනාදි දැරියගේ නිවෙසට අපි ගියෙමු.

අප එම නිවෙසට ගොඩවන විටම සිනාමුසු මුහුණින් අප පිළිගත් දිනුල්‍යා දැරිය මාමලා වාඩි වෙන්න කියමින් ගෙතුළට ගොස් මව කැඳවාගෙන ආවාය.
මැදිරිගිරිය රෝහලේ සෞඛ්‍ය නිලධාරිනියක වන දැරියගේ මව වන යුරේෂා ලක්මාලි මෙසේ පැවැසුවාය.

දරු දෙදෙනකුගේ පවුලේ වැඩිමලා වන දනුල්‍යා බහ තෝරන වයසේ පටන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා රූපවාහිනියෙන් දකින හැම අවස්ථාවකදීම සිනාසෙමින් නොයෙකුත් දේ කියමින් එම වැඩසටහන් නරඹනවා.

මේ ඉන්නේ ලංකාවේ මෛත්‍රි සීයා, මට බලන්න යන්න ඕනෑ කියමින් අප්පච්චිට ඇය නිතරම ඇවිටිලි කරනවා.
පසුගිය 10දා උදේ රූපවාහිනිය බලනකොට අපේ අම්මා දුවට කියලා තිබෙනවා ජනාධිපති සීයා අද මෙහෙ එනවා කියලා ඇය වැඩිදුරටත් කීවාය.
දැරියගේ පියා ආනන්ද බණ්ඩාර අමරසිංහ මහතා මෙසේ පැවැසුවේය.

එදා උදේ වරුවේ ජනාධිපතිතුමා මිරිස්හේනට එන බව ආරංචි වුණා. අප්පච්චි මාත් එනවා මෛත්‍රි සීයා බලන්න. මාත් එක්ක යන්න කියලා ඇය කිහිපවතාවක්ම ඇවිටිලි කළා.
මම දුවත් සමඟ මිරිස්හේනට ගියා. මේ වන විට ජනාධිපතිතුමා උත්සවයට පැමිණ සිටියා. මම දුව වඩාගෙන එම ස්ථානයට ගියා. මෛත්‍රි සීයා බලන්න ඕනෑ කියමින් ඇය ඇවිටිලි කරන්න පටන් ගත්තා.

අපට වේදිකාව අසලට යන්න බැරි වුණා. මම දුව බිම තැබුවා. ඇය සෙනඟ අතරින් රිංගගෙන ගොස් වේදිකාව අසලට ගියා. ජනාධිපතිතුමා ඇය දැක එක්වරම ඇයට එන්න ඉඩ දෙන්න කියලා තිබුණා.

ඊට පස්සේ මම දැක්කේ දුව ජනාධිපතිතුමාගේ ඔඩොක්කුවේ වාඩි වී සිටින අන්දමයි. දරුවා සමඟ ජනාධිපතිතුමා සතුටු සාමීචියේ යෙදී සිටියා. ජනාධිපති ආරක්ෂක භටයන් මට ඒ අසලට වී ඉන්නැයි කීවා. බොහොම කාලයක පටන් ජනාධිපතිතුමා දැක බලා ගන්නට දුවගේ ආශාවක් තිබුණා. මේ හමුවීමෙන් ඇගේ ආශාව ඉටු වුණා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්