ජනතාව මත බර පැටවීම වැරැදියි

  👤  3249 readers have read this article !
By mawbima 2017-09-13

මහ බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් එය සිදුකළේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇපයට තබමින් යැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි චන්ද්‍රසිරි ගජධීර මහතා පවසයි.

ගජධීර මහතා මේ බව පැවැසුවේ සමාජවාදී ජනතා පෙරමුණේ කොළඹ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
වැඩිදුරටත් මෙසේද පැවැසීය.

දැන් රටේ වක්‍ර බදු ප්‍රතිශතය ඉතා වේගයෙන් ඉස්සරහට ගිහින් තියෙන්නේ. ඒකට හේතුවක් තිබෙනවා. රටක ආර්ථික සංවර්ධනයේදී බදු අය කළ යුතුයි. එය සාධාරණව සිදුවිය යුතුයි. මේ රටේ අද සමාජ විසමතාවක් තිබෙන්නේ. ලෝකයේ රටවල් 152ක් අතරින් සමාජ විසමතාව අනුව අපි ඉන්නේ 138 වැනි ස්ථානයේ. දකුණු ආසියාවේ අපි ඉන්නේ. 4 වැනි ස්ථානයේ. අපට උඩින් තමයි මාලදිවයිනත් ඉන්නේ. අපේ රටේ 62%ක් පවතින්නේ අවිධිමත් ආර්ථික තත්ත්වයක. මේ ආණ්ඩුවට මේවා වෙනස් කරන්න හැකිවෙලා නැහැ. මේවා සමාජ අර්බුදවලට ලක්විය හැකියි.

දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු වෙලාවේ මුදල් ඇමැතිතුමා කිව්වේ වක්‍ර බදු 60%කටයි, සෘජු බදු 40%කටයි ගේනවා කියලා. කවර පන්තියකින්් බදු ගත්තත් ඒ බදු ලබාගැනීමේ සාධාරණ ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. එය රටේ ප්‍රතිපත්තිවලට පටහැනි නොවිය යුතුයි.
අපිට විදේශ සෘජු ආයෝජන එන්නේ නැහැ. ඒකට තිබෙන හේතුව තමයි. අපේ රට දූෂිත රටවල් අතරට මේ වන විට එක්වෙලා තිබීම. 83%ට තිබුණු දූෂණය 96% දක්වා වැඩිවෙලා තිබෙනවා. මේ වගේ තත්ත්වයක් යටතේ කවර බදු ප්‍රතිපත්තියක් ගෙනාවත් ආයෝජන රට ඇතුළට එන්නේ නැහැ.

රටේ මූල්‍ය කටයුතු පිළිබඳව කටයුතු කරන්නේ මහ බැංකුවයි. දැන් මේක ඇතුළේ මහා මංකොල්ලයක් වෙලා තිබෙනවා. එහෙම වෙනකොට ආයෝජකයෝ එන්නේ නැහැ.
ඔක්තෝබර්වල වගා සංග්‍රාමයක් කරනවා කියලා කියනවා. අපේ රටේ වගා සංග්‍රාම කීයක් කළාද? නමුත් කෝ වගාව. අපනයන දිරිමත් වෙලා නැහැ.
2018 යළි මූල්‍ය අර්බුදයක් එන්න පුළුවන්. චීන ආධාර නැතිව අද රටවලට ආර්ථිකය අරගෙන යන්න බැරි තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. විදේශ ප්‍රතිපත්තියයි, සම්පත් සංවර්ධනය වෙනුවෙන් ගෙන එන ආර්ථික මූලඋපායයි දෙකම ගළපන්නේ නැතිව මේ රටේ ආර්ථික සංවර්ධනයක් කරන්න බැහැ.

ජනතාව අතරට මේ බර පැටවුවහොත් ඉදිරියේදී රටේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. වක්‍ර බදු අඩුකරපු එකට අපි සතුටුයි. මෙවැනි සමහර දේ නිසා තමයි දේශීය ආදායම් පනතට ඒකාබද්ධ විපක්‍ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වුණේ. එහි ඇති යහපත් කරුණු පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය
ඡායා: සරත් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්