සිල් රෙද්දට මුවා වෙලා දේශප්‍රේමී නිලධාරීන්ට ආණ්ඩුව පහර දෙනවා

  👤  3280 readers have read this article !
By mawbima 2017-09-13

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ නියෝගය මත මහා භාණ්ඩාගාරයෙන් ත්‍රස්තවාදීන්ට මුදල් ලබාදුන් හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම්වරයකු වන ආර්. පාස්කරලිංගම් මහතා අදත් අගමැති උපදේශකයකු ලෙස සිටින බවත් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට සහාය ලබාදුන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සිරගත කර සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

සිල් රෙද්දට මුවාවෙමින් වත්මන් රජය ත්‍රස්තවාදය පරාජය කිරීමට උරදුන් සියලු නිලධාරීන්ට එළව එළවා පහර දෙන බවද මන්ත්‍රිවරයා සඳහන් කෙළේය.
ඊයේ (12දා) පුංචි බොරැල්ල වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
වැඩිදුරටත් මෙසේද කීය.

රාජ්‍ය නිලධාරි තන්ත්‍රයේ සිටින ඉහළම කෙනා තමයි ජනාධිපති ලේකම්වරයා. අද වන විට හිටපු ජනාධිපති ලේකම්වරයා බන්ධනාගාර ගත කරලා තිබෙනවා. ඔහු ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සහ සේනාධිනායක වශයෙන් කටයුතු කළ මහින්ද රාජපක්‍ෂ මහතාට විශාල සහායක් ලබාදුන්නා. ජනාධිපතිවරුන්ගේ නියෝග හරි හෝ වැරැදි වෙන්න පුළුවන්. නමුත් ලේකම්වරයා බැඳී සිටිනවා එම නියෝග ඉටු කිරීමට.

ආර්. පාස්කරලිංගම් කියන්නේ 1980 - 1990 කාලයේ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්. ඔහුට උපදෙස් ලබාදීලා තිබෙනවා රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මහජනයාගේ බදු මුදල් එළියට ගන්න. එහිදී අදාළ රිසිට්පත්වල සාක්‍ෂිකරු ලෙස අස්සන් කරලා තිබෙන්නේ මුදල් නිකුත් කළ නිලධාරියාමයි. මේ මුදල් අරගත්තේ කොටින්ට දෙන්න. නමුත් රිසිට්පත්වල සඳහන් කරලා තියෙන්නේ හදිසි රහස්‍ය වියදම් ගෙවීම් කියලයි. සමහර ගෙවීම් කරලා තියෙන්නේ චෙක්පත්වලිනුත් නෙවෙයි. එහෙම කරපු ආර්. පාස්කරලිංගම් මහතා අද අගමැති උපදේශක හැටියට ඉන්නවා. කොටි නසන්න කටයුතු කළ හිටපු ජනාධිපති ලේකම්වරයා සිරගත කරලා. සිල් රෙද්දට මුවා වෙලා මොවුන් කරන්නේ ත්‍රස්තවාදය පරාජය කිරීමට කටයුතු කළ සියලු දෙනාට එළව එළවා පහරදීමයි.

දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා ආණ්ඩුවෙන් ඉවත් වෙලා ඇවිත් මේ සම්බන්ධයෙන් කළ ප්‍රකාශ තිබෙනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයකුත් තිබෙනවා. අපි දුන්නේ ජවිපෙ සහ ද්‍රවිඩ හමුදාව මර්දනයටයි කියලා. අවි දුන් බව ඔහු පිළිඅරන් තිබෙනවා. කොටින්ට ආයුධත්, මුදලුත්, වාහනත්, උපකරණත් ලබාදීම පිළිබඳ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනාවා. ඒ අවස්ථාවේදී විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ලෙස අපිත් ඒ සඳහා අස්සන් කළා. එස්.බී. දිසානායක එවකට විපක්‍ෂයේ සිටි මන්ත්‍රිවරයා 'මා අස්සන් කළ දෝෂාභියෝගය' කියලා පොතක් ලියලා තිබෙනවා. ඒ කාලයේත් මෙවැනි අයථා ගනුදෙනු සිදුකළා කියලා. එළව එළවා මනුෂ්‍යන්ගෙන් පළිගැනීම් කළේ නැහැ.

සිල් රෙදි බෙදාදීම සිදුකළේ සම්බුද්ධත්ව ජයන්ති රාජ්‍ය උත්සවයට සමගාමීවයි. සිල් රෙදි බෙදීම මැතිවරණයට බලපෑමක් වෙනවා නම් මැතිවරණ කොමසාරිස්වරයා ලියුමක් එවනවා.

මේ සිරකරුවන් වෙනුවෙන් මුදල් ගෙවීමට සිදුවුණොත් එය ගෙවන්න අපි මහ සංඝරත්නය සමඟ එකතු වෙලා අරමුදලක් පිහිටුවනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්:

ලලිත් වීරතුංග මහතා සත පහක්වත් හොරකම් නොකළ බව අධිකරණයෙන් කියලා තියෙනවා. මෙම සිදුවීමත් සමඟ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම පිළිබඳ තත්ත්වය සංසන්දනය කරන්න. රජයේ තක්සේරුවට අනුව එහි පාඩුව බිලියන 1000ක්. කවදාවත් නැති විදියට ඔවුන් ලාභ ලබාගන්නේ. මෙය අර්ජුන් ඇලෝසියස්ට සහ අර්ජුන් මහේන්ද්‍රන්ට පමණක් සීමා වන්නේ නැහැ. ඒ සල්ලි වියදම් කළේ එ.ජා.ප.යේ මැතිවරණ කටයුතුවලට සහ මාධ්‍ය ආයතන ආරම්භ කරන්නයි.

ඉෂාරා සිල්වා,
ඡායාරූප: කැළුම් චාමර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්