යුද්ධයක් යළි ඇති නොවීමට වැඩ කිරීම උතුරේ ආගමික නායකයන්ගේ අධිෂ්ඨානයි

  👤  3376 readers have read this article !
By mawbima 2017-09-13

මෙරට බෙදා වෙන් නොකර සියලු දෙනා එක්ව සාමයෙන් සහයෝගයෙන් ජීවත් විය යුතු බවත් යළිත් යුද්ධයක් ඇති නොවීමට කටයුතු කිරීම කාගේත් යුතුකම බවත් උතුරේ ආගමික නායකයන් සඳහන් කළ බව අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමි වරකාගොඩ ඤාණරතන හිමියෝ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නෙශ්වරන් මහතාට පැවසූහ.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අස්ගිරි විහාරයට පැමිණ අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමියන් ඇතුළු කාරක සංඝ සභාවේ හිමිවරු බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය. සාම්ප්‍රදායික ලෙස අස්ගිරි විහාරවාසී මංගල උපෝසථාගාරයට අස්ගිරි මහා නාහිමියන් ඇතුළු කාරක සංඝ සභාවේ හිමිවරු රැස්ව මෙම සාකච්ඡාව ආරම්භ කළහ.
එහිදී අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමි වරකාගොඩ ඤාණරතන හිමියෝ මෙසේද කීහ.

ඔබතුමා මහ ඇමැති ධුරයට පත්වී වසර හතරක් ගත වනවා. අප මෑතදී උතුරු ප්‍රදේශයේ සංචාරයක් කළා. ඉන්පසුව එම ප්‍රදේශවල ඇති තත්ත්වය තේරුම් ගැනීමට අපිට හැකිවුණා. උතුරේ ජීවත්වන සාමාන්‍ය ජනතාවගේ අදහස් සහ උතුරේ විවිධ ආගමික නායකයන්ගේ අදහස් ආදියත් තේරුම් ගැනීමට අපට හැකිවුණා. ඒ ප්‍රදේශයේ ජීවත් වන සාමාන්‍ය ජනතාවගේ අදහස නම් ඒ අයට අවශ්‍ය වන්නේ සතුටින් සාමදානයෙන් ජීවත් වීමයි. උතුරු නැඟෙනහිර දෙපළාතේම ජනතාවගේ අදහස එයයි. ඒ නිසා ඒ අදහස් තේරුම් ගෙන ජනතාවගේ සහජීවනය සඳහාත් අහිංසක ජනතාවගේ ජීවිත ගොඩනඟා ගැනීමටත් අවශ්‍ය කටයුතු කළ හැකියි කියන විශ්වාසය අප තුළ තිබෙනවා. ඒ සඳහා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට හැකියාව තිබෙන බව අප විශ්වාස කරනවා. එමෙන්ම රජයෙන්ද අවශ්‍ය ප්‍රතිපාදන ලබාගෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සෞඛ්‍ය, සනීපාරක්ෂක කටයුතු සහ සංවර්ධන කටයුතු කළ හැකි බව අපේ විශ්වාසයි. ඒ ප්‍රදේශයේ ජනතාව මහත් අසීරු තත්ත්වයට පත්වී ඇති ආකාරය අප දුටුවා. වසර තිහක් මුළුල්ලේ යුද්ධයෙන් මහත් සේ පීඩාවට පත් වුණා. එවන් තත්ත්වයක් යළිත් ඇති නොවන්න කටයුතු කළ යුතු බවත් තමන්ට අවශ්‍ය මිනිසුන් ලෙස හොඳ ජීවිතයක් ගත කිරීම බවත් ඒ අය සඳහන් කළා.

අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමි ආණමඩුවේ ධම්මදස්සි හිමියන්
ඔබතුමා මෙම අස්ගිරි මූලස්ථානයට පැමිණීම සතුටට කරුණක්. මේ ආකාරයට උපෝසථාගාරයට කැඳවා සාකච්ඡා කිරීම පුරාණ රජ දවස සිට එන සම්ප්‍රදායක් සහ චාරිත්‍රයක්. මහා නාහිමියන් ඇතුළු හිමිවරුන් පිරිසක් පසුගියදා උතුරේ සංචාරයක් සිදුකළා. තිස් වසරක යුද්ධයෙන් පසුව උතුරේ ජනතාව පත්ව ඇති පීඩාව මහා නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය හොඳින් අවබෝධ කරගත්තා. දරුවන්ට පාසල් නැහැ. රාජ්‍ය සේවකයන් ඒ ප්‍රදේශවලට යන්න අදිමදි කරනවා. ඒ වගේ අඩුපාඩු රැසක් ඒ පළාතේ ඇති බව උන්වහන්සේලාට දැනගන්න ලැබී තිබෙනවා. මුදල් පිළිබඳව එක්වරම අපට අදහසක් ඉදිරිපත් කරන්න බැහැ. එය රජයේ කටයුත්තක් නිසා. ඒ පිළිබඳව රජයටත් අදහස් කියන්න අප බලාපොරොත්තු වනවා.

මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන්
හින්දු ජනතාවත් සමඟ සිංහල ජනතාව අතීතයේ සිට සමීප සබඳතා පවත්වාගෙන ගොස් තිබෙනවා. දකුණේ මෙන්ම උතුරේත් අන්තවාදී අදහස් තිබෙන අය සිටිනවා. නමුත් ඒ අන්තවාදී අදහස් දේශපාලනය තුළ පතුරුවා හැරීමෙන් ජාතීන් අතර බෙදීම වෙන්වීම ඇති කරනවා. ඒ නිසා අප නිතරම කල්පනා කළ යුතුයි අපි සියලු දෙනා එකම රටක ජීවත් වන්න ඕනෙ කියන කාරණාව. නමුත් උතුරු දකුණු ජනතාවගේ ජන ජීවිත අප එකතුවී ගොඩනැඟිය යුතුයි.

අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමි වේඬරුවේ උපාලි හිමි
එදා එළාර රජ සමයේ සිට අප රටේ සංහිඳියාවක් තිබුණා. මේ පළාතේ කිසිදු හින්දු දේවාලයක් ඉදිකරනවට අප කිසිවෙක් විරුද්ධ වන්නේ නැහැ. හින්දු පාලකයන් වුණත් මේ රට පාලනය කළේ බෞද්ධකමට මුල් තැන දෙමිනුයි. හින්දු අලුත් අවුරුදු උත්සව අප කරන්නෙ එකටයි. ඉතිං කොහොමද අප බෙදෙන්නේ. අප ජාතික ගීය කුමන භාෂාවකින් ගායනා කළත් එක මවකගේ දරු කැල බැවිනා කියලා කියනවානෙ.

අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරම්පනාවේ ආනන්ද හිමියන්
උතුරේ මෙන්ම දකුණේ අයත් යුද්ධයෙන් බැට කෑවා. අතීතයේ ගත් වැරදි දේශපාලන තීන්දු තීරණ නිසා රට එවන් තත්ත්වයකට පත් වුණා. ඒ නිසා ඉදිරියේදී මේ රටේ සියලු දෙනාගේ අදහස් විමසා කටයුතු කළ යුතුයි. දෙපැත්තක සිට අපට මේ ප්‍රශ්න විසඳන්න බැහැ. මෑත කාලේ අපට බොහෝ ගැටලු ඇති වුණේ අප අන්ත දෙකක සිට මේ ප්‍රශ්න විසඳන්න යෑම නිසයි. මින් ඉදිරියට හෝ අප එක්ව කටයුතු කළ යුතුයි.
රටේ ජාතික ප්‍රතිපත්තියක් තිබෙනවා නම් සිංහල දෙමළ මුස්ලිම් කියා ප්‍රශ්න ඇති වෙන්න බැහැ. රටේ ඇති ප්‍රශ්න දෙස වාර්ගික ලෙස නොබලා කටයුතු කිරීමෙන් රටේ ප්‍රශ්න බොහෝමයක් විස¼දාගන්න පුළුවන්.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නෙශ්වරන් මහතා
උතුරු පළාතේ තොරතුරු දැනගෙන ඔබ වහන්සේ පැමිණීම පිළිබඳව සතුටු වනවා. උතුරු නැඟෙනහිර වැන්දඹු කාන්තාවන් සහ අනාථ වූ ළමයි විශාල සංඛ්‍යාවක් සිටිනවා. යුද්ධයෙන් තුවාල වූ විශාල පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාගේ ප්‍රශ්න තිබෙනවා. ඒ අයගේ ආර්ථික ප්‍රශ්න උග්‍රවෙලා තිබෙනවා. සෑම පළාතකම ආදායම මධ්‍යම ආණ්ඩුවට යනවා. ඒත් ඒ ආදායම් සියල්ල යළි අපට දෙන්නේ නැහැ. ඉන් කොටසක් අපට දෙනවා. ඉතිරි කොටස ආණ්ඩුව තියාගෙන ඒ අයට වුවමනා ආකාරයට ඒ ඒ ව්‍යාපෘතිවලට මුදල් දෙනවා. අපිට ඒ පළාතට වැඩ කරන්න ලැබෙන මුදල් බොහොම අඩුයි. අපට මිලියන 1,400ක් පමණ ලැබෙනවා. නමුත් අපට මිලියන 8000ක් 10,000ක් පමණ අවශ්‍ය වනවා. ඒ නිසා අපට ඒ වැඩ කරන්න ආර්ථික තත්ත්වය දුර්වලයි. ඒ නිසා අප පිටරටවල ඉන්න අය දෙන මුදල්වලින් සංවර්ධනය කරන්න මහ ඇමැති අරමුදලට ඉඩ දෙන්න කියා අප කීවත් තවම එයට අවසර දෙන්නේ නැහැ.

මහනුවර - ගයා ශ්‍රී කාරියවසම්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්