කොටි සාමාජිකයකු පොලිසියට දුන් පාපෝච්චාරණය නීත්‍යනුකූල බවට මහාධිකරණය දුන් නියෝගයට එරෙහිව අභියාචනාධිකරණයට ඇපෑලක්

  👤  3339 readers have read this article !
By mawbima 2017-09-13

අනුරාධපුර - ආනන්ද කරුණාදාස

පලාලි සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබූ ඇන්ටෙනෝ 32 වර්ගයේ ගුවන් යානයකට විල්පත්තුව වනයේ සිට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ කොටි සංවිධානයේ මිසයිල බළගණයේ හිටපු ප්‍රබල සාමාජිකයකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයකුට ලබාදී ඇති පාපෝච්චාරණ නීත්‍යනුකූල බවට අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු මහේෂ් වීරමන් මහතා ලබාදුන් නියෝගය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළේය.
නීතිඥ කාලිංග රවීන්ද්‍ර මහතා මඟින් අභියාචනාධිකරණයට මෙම ඇපෑල ඉදිරිපත් කර ඇත්තේ කොටි සංවිධානයේ මිසයිල බළගණයේ හිටපු ප්‍රබලයකු වන ඉරාෂතුරෙයි ජෙගන් නොහොත් පුලවන් නමැති විත්තිකරු විසිනි.
විල්පත්තුව ජාතික වන උයනේ සිට මිසයිල ප්‍රහාරයක් එල්ල කර එම ගුවන් යානය විනාශ කළේ තමන් බවට කොටි සංවිධානයේ මිසයිල බළගණයේ හිටපු ප්‍රබල කොටි සාමාජිකයකු වන ඉරාෂතුරෙයි ජෙගන් නමැති විත්තිකරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලබාදී තිබූ පාපෝච්චාරණය නීත්‍යනුකූලද? නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ දීර්ඝ නඩු විභාගයක් පැවතිණ. එහි තීන්දුව ලබා දෙමින් අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරුවරයා තීරණය කළේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට මෙම විත්තිකරු මීට පෙර ලබාදී ඇති පාපෝච්චාරණය නීත්‍යනුකූල බවටයි.
විත්තිකාර හිටපු කොටි සාමාජිකයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලබාදී ඇති පාපෝච්චාරණය නීත්‍යනුකූල එකක් නොවන බවට විත්තියේ නීතිඥවරයා නඩු විභාගයේදී දීර්ඝව නැඟූ තර්ක මහාධිකරණ විනිසුරුවරයා ප්‍රතික්ෂේප කරනු ලැබීය.
විනිසුරුවරයා මෙසේ පිළිගනු ලැබූවේ කොටි සංවිධානයේ මිසයිල බලගණයේ හිටපු ප්‍රබල සාමාජිකයකු වන ඉරාෂතුරෙයි ජෙගන් හෙවත් පුලවන් නමැති මෙම නඩුවේ දෙවැනි විත්තිකරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලබාදී තිබූ පාපෝච්චාරණයයි.
මෙම නඩුවේ අනෙක් විත්තිකරු ලෙස අධිචෝදනා ලබා සිටින කොටි සංවිධානයේ මිසයිල බළගණයේ හිටපු ප්‍රබලයකු වන නල්ලාමි ශිව ලිංගම් යන අයද මෙම ප්‍රහාරය එල්ල කර ගුවන් යානය විනාශ කළේ තමන් විසින් බවට පිළිගනිමින් මීට වසර කිහිපයකට පෙර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයකුට ලබාදී ඇති පාපෝච්චාරණයද අනුරාධපුර විශේෂ මහාධිකරණයේ හිටපු විනිසුරු හා ගම්පහ පළාත් බද වත්මන් මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය විසින් නීත්‍යනුකූල එකක් බවට අධිකරණයේදී මීට පෙර පිළිගනු ලැබුවාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්