කසිප්පු පෙරා මාට්ටු වූ සැමියා දුරාචාර අතහැර පෝයට සිල් ගනී

  👤  3315 readers have read this article !
By mawbima 2017-09-13

වෙල්ලස්ස - සේපාල

කසිප්පු පෙරීමට යොදා ගන්නා ගෝඩා බෝතල් 13ක් සමඟ හසුවූ පුද්ගලයාට පොලිසියට පැමිණ ඇප දීමට කටයුතු කළ එම සැකකරුගේ බිරිය විසින් මෙවැනි දුරාචාර කටයුතු අතහැර සතර පෝයට සිල් ගන්නේ නම් පමණක් තමා ඇපය ලබාදෙන බවට ප්‍රකාශ කිරීමෙන් පසු වැරැදි පාරේ යමින් සිටින සැකකරු බිරියගේ කොන්දේසියට හිස නැමූ පුවතක් සියඹලාණ්ඩුව පොලිසියෙන් වාර්තා වෙයි.

වාර්තා වන අන්දමට එම සිද්ධිය මෙසේය. සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියන්ත බණ්ඩාර මහතා තම බල ප්‍රදේශයේ අස්සක් මුල්ලක් නෑර මත්පැන් හා මත්ද්‍රව්‍ය සොයා මෙහෙයුම් දියත් කළේය.

සියඹලාණ්ඩුව කොට්ඨාසයේ ප්‍රසිද්ධ රාජධානියකට අයත් ගම්මානයක පුද්ගලයකු ගෝඩා බෝතල් 13ක් සමඟ ඉකුත් දිනක පොලිසියට කොටු විය.
සැකකරුගේ බිරිය ධාර්මික ජීවිතයක් ගත කරන උපාසිකාවකි. ඇය සතර පෝයටම සිල් සමාදන් වන්නීය. ප්‍රධාන පෝයට සිල් සමාදන්වීම සඳහා ඇය යන්නේ කැලණිය විහාරස්ථානයටය. ඉකුත් පොහොය දිනක ඇය සුපරුදු පරිදි කැලණියට ගියාය. ආපසු නිවෙසට පැමිණි පසු ඇයට දැනගැනීමට ලැබුණේ සැමියා පොලිස් කූඩුවේ කියාය. පොලිසියේ කැඳවීම මත සිය සැමියාට ඇප දීමට ඇයට සිදුවිය. එහෙත් ඇයගෙන් සැමියාට කොන්දේසියක් පැනවිණි. එනම් සියලු දුරාචාරවලින් ඉවත්වී සතර පෝයට සිල් ගෙන ධාර්මික ජීවිතයක් ගතකළ යුතුය යන්නයි.

වෙන කළ යුතු දෙයක් නොමැති කමින් ඇයගේ කොන්දේසියට සැමියා එකඟ විය. දැන් එම පුද්ගලයා ධාර්මික ජීවිතයකට හැඩගැසී ඇත. සියලු පාප කර්මවලින් අත්මිදී බිරියගේ අඩි පාරේ යමින් සිටී.

සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ හොඳ සිතිවිලි තුළින් මිනිස් චර්යාවන් යහමඟට ගැනීමට හැකි වීමෙන් තමාටද පුණ්‍ය කර්මයකට දායක වීමට හැකිවූ බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්