ලලිත් වීරතුංග මට වීරයෙක්

  👤  3497 readers have read this article !
By mawbima 2017-09-13

ලලිත් වීරතුංග මහතා වීරයෙක් බවත් වත්මන් ආණ්ඩුව ලලිත් වීරතුංග වැනි රාජ්‍ය නිලධාරීන්ව සිරගත කරන්නේ නව ව්‍යවස්ථාව ගෙන ඒම වෙනුවෙන් ජනතාව බිය ගැන්වීමට බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පළිගැනීම් අද උපරිම ආකාරයෙන් ක්‍රියාත්මක වන බවද හිටපු ජනාධිපතිවරයා පැවැසුවේය.
මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවැසුවේ නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ චරිතය අලළා මාධ්‍යවේදී නිහාල් ජගත්චන්ද්‍ර රචනා කළ 'මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ'නම් කෘතිය එළිදැක්වීමේ උත්සවයට සහභාගි වෙමිනි.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම උත්සවය පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අග්ගමහා පණ්ඩිත නියංගොඩ විජිතසිරි හිමියෝද සහභාගි වූහ.
හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ ගැන අලුතෙන් හඳුන්වා දිය යුතු නෑ. උන්වහන්සේ මේ රටට සහ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට ලොකු සේවයක් කළා. එක් යුගයකදී අපි සටන් කරන විට අපට අභය භූමියක් වුණේ අභයාරාමය. එදා මම කම්කරු ඇමැතිවරයාව සිටින කාලේ සෞඛ්‍ය ඇමැතිවරයා වූ ෆවුසි මහත්තයා සමඟ හාමුදුරුවෝ සිදු කළ සටන නවත්තන්න පියවර ගත්තේ මම මැදිහත් වෙලයි. ඒ ඉතිහාසය පිළිබඳව මේ පොතේ සඳහන් වෙලා තිබෙනවා.
මම ගියා සිරගත වෙලා ඉන්න මගේ ලේකම්තුමා ලෙස කටයුතු කළ ලලිත් වීරතුංග මහත්තයව බලන්න. එතුමා රෝහලේ ඉඳන් ඇවිල්ලයි හිටියේ. එතුමා හිටියේ සරමක් ඇඳගෙන. මට එතුමාව දැක්කහම ලොකු කනගාටුවක් ඇති වුණා. එතුමා කළේ ජනාධිපතිවරයා දුන්නු නියෝගය ක්‍රියාත්මක කළ එකයි. පොල්ලක් අරගෙන ගිහිල්ලා ගහල මේක දෙන්න කියලා ලේකම්තුමාට කිව්වේ නෑ. එතුමා කළේ මම දුන්නු නියෝගයක් පිළිපදින එකයි.
කෙසේ වෙතත් දැන් තීන්දුවක් ලැබිලා තියෙනවා. අපි ඒ තීන්දුව පිළිගන්නේ නෑ. නමුත් එතුමා හිරේ යා යුතුද කියන ප්‍රශ්නය අපට තිබෙනවා. සත්භාවයෙන් කරන ක්‍රියාවලට සිරගත වන්න වෙනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක්.

අද රණවිරුවෝ අසරණ වෙලා ඉන්නේ. අද සමහර කාරණා විකෘති කරලා සමහර නායකයෝ ඉදිරිපත් කරලා තිබෙනවා. ජනතාව දැන් තිගැස්මට පත්වෙලා ඉන්නේ. අපි එදා සිල් රෙදි දුන්නේ සිල් රෙද්දක්වත් අඳින්න තිබුණේ නැති මිනිස්සු මේ රටේ සිටි නිසයි.

අපි 2005 ඉඳන් ආණ්ඩු කළා. අපි කාගෙන්වත් පළිගත්තේ නැහැ. එහෙම කළා නම් අද සමහරු නෑ. එදා බටලන්ද අරලන්ද කියලා කොමිසම් තිබුණා. මොනවාද ඒවාට වුණේ.
අද කාලය ඇවිත් තියෙනවා තමන්ගේ රටට විය යුතු යුතුකම හරි විදියට ඉටු කරන්න.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය-බණ්ඩාරගම - ජීවන් ඉලංගගේ
ඡායාරූප - සජීව චින්තක කහඳගමගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්