2020දී අය වැය අතිරික්තයක් ඇති කිරීම අපේ ඉලක්කයයි

  👤  3258 readers have read this article !
By mawbima 2017-09-13

නව තාක්ෂණික වෙනස සමඟ ඉදිරියට යා යුතු බවත් එසේ නොකළහොත් අපේක්ෂිත සංවර්ධන ඉලක්ක වෙත යා නොහැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
අගමැතිවරයා එසේ සඳහන් කළේ කොළඹ සිනමන් ග්‍රැන්ඩ් හෝටලයේදී පැවැති ව්‍යාපාරික සමුළුවකට සහභාගි වෙමින්ය. වරලත් ගණකාධිකාරි කළමනාකරණ ආයතනය විසින් එය සංවිධානය කොට තිබිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා, රටත්, ජනතාවත් ආර්ථිකමය සංවර්ධනයක් අපේක්ෂාවෙන් ව්‍යාපාර කරන්නෙ කෙසේද කියා වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඒ වගේම ආර්ථිකයට ඉදිරියට යෑමට හොඳ පරිසරයක් තිබිය යුතු යැයිද කීවේය.
ආර්ථිකමය සංවර්ධනයක් සඳහා වූ පරිසරයක් රට තුළ ඇති කරන්න ආණ්ඩුවට පුළුවන්.

හැම දෙයකටම ආර්ථිකය ප්‍රමුඛ වන බව අපට තේරුම් ගන්න පුළුවන්. අපේ මූලිකත්වය තිබෙන්නේ ආර්ථික ප්‍රතිපත්තියකටයි. ස්ථාවර ශ්‍රී ලංකාවක් ගොඩනඟන්නට හැකි වන්නේ එවිටයි. ආර්ථික අභියෝගය ජය ගන්න අපට පුළුවන්.

අපි මේ වනවිට ජාත්‍යන්තර ආයෝජකයන්ට හිතකර රටක් බවට මේ රට පත්කොට අවසන්. ව්‍යාපාරික කටයුතු සඳහා පහසුකම් සපයනවා. ඉන්දීය සාගර කලාපයේ ජපානය, චීනය ඉදිරියට ආවා. ඒත් මේ කලාපයේ හබ් එක ශ්‍රී ලංකාවයි. නව කර්මාන්ත, හම්බන්තොට වරාය සංචාරක කර්මාන්තය මෙන්ම අපගේ සාම්ප්‍රදායික දේවල් උපයෝගි කර ගෙනත් අපට අපේක්ෂා කරන සංවර්ධන ඉලක්කය වෙත යන්න පුළුවන්.
අපේ කලාපයේ බංග්ලාදේශයේ දළ ජාතික නිෂ්පාදනයත් ඒකපුද්ගල ආදායමත් වැඩි වෙමින් පාකිස්තානය අභිභවා යමින් සිටිනවා. අපේ රට පැරැද්දුවොත් ඒකෙ වගකීම අප සියලු දෙනාටම භාර ගන්න වෙනවා.

අපේ ආණ්ඩුවේ ඉලක්කය 2020 වනවිට අය _ වැය අතිරික්තයක් ඇති කරලීමයි. ගෙවී ගිය වසර දෙකක කාලය තුළ ඒ සඳහා පියවර රැසක් අනුගමනය කළා.
ඉදිරියේදී තවත් පනත් කිහිපයක් හඳුන්වා දීමට ආණ්ඩුව අපේක්ෂා කරනවා. විනිමය පාලන සංශෝධිත පනත, ජාතික ණය ගෙවීමේ ප්‍රතිපත්තියක් හඳුන්වා දීමත් ඒ අතර ප්‍රධානයි.
2050 වනවිට අප්‍රිකාවේ සිට ඉන්දුනීසියාව දක්වා කලාපයේ ජනගහනය මිලියන 500කින්වත් වැඩි වෙනවා. ඔවුන් ඉලක්ක කොට අපි අපේ වෙළෙඳපොළ සකස් කරගත යුතුයි.
සංවර්ධන ඉලක්කවලට යෑමේදී රජයට පමණක් තනියෙන් ඒක කරන්න බැහැ. මත්තල ගුවන් තෙටුපළත් මේ වසර අවසන් වනවිට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පාලනයට යොමු කිරීමත් එහි පියවරක් බව කිව යුතුය.

ව්‍යාපාරිකයන්ට රජය උපරිම ලෙස සහාය පළ කරනවා. ව්‍යාපාරිකයොත් එහි ප්‍රතිඵල ලබන ගමන් උපරිම ප්‍රතිලාභ රටට අත්කර දීමට කටයුතු කළ යුතුයි. දැන් තිබෙන්නේ ජාතික ආණ්ඩුවක්. මේක අපට තිබෙන අවසන් අවස්ථාව වෙන්න පුළුවන්.

දෙනගම ධම්මික රණවීර
ඡායාරූප - වෙනුර චන්ද්‍රමාලිත

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්