ඊනියා දේශප්‍රේමීන් නොවේ රණවිරුවන් රකින්නේ අපියි

  👤  3381 readers have read this article !
By mawbima 2017-09-13

ආණ්ඩුව රණවිරුවන් දඩයම් කරනවා, රණවිරුවන්ට හිරිහැර කරනවා යනුවෙන් ප්‍රචාරය වන නොයකුත් අසත්‍ය ප්‍රකාශවලට නොරැවටෙන ලෙස තමා ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

රණවිරුවන් වෙනුවෙන් ව්‍යාජ දේශප්‍රේමීත්වයක් මවාගෙන කටයුතු කරන පුද්ගලයන්ට වඩා රණවිරුවන් ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය වත්මන් රජය ආරක්ෂා කරන බවත් ජනාධිපති සිරිසේන මහතා පැවැසුවේ හොරොව්පොතානේ ස්ථාපිත කරන ලද 250 වැනි ප්‍රතිආශ්‍රැතිකරණ ජල පද්ධතිය විවෘත කිරීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමිනි.
වකුගඩු රෝගය වැළැක්වීමට අවශ්‍ය ප්‍රතිකාර අංශ ශක්තිමත් කිරීමත්, රෝගී නිවාරණ අංශ, රෝග වැළැක්වීමේ අංශ ශක්තිමත් කිරීමත් යන කරුණු පදනම් කරගෙන පසුගිය අවුරුදු 25 කට වැඩි කාලයක් තුළ සෑම රජයක්ම ව්‍යාපෘති රාශියක් ආරම්භ කළා. ඒ වැඩසටහන් කොතෙක් ක්‍රියාත්මක වුවත් එහි යම් යම් අඩුපාඩුකම් සහ දුර්වලතාවන් රාශියක් තිබුණු බව අපට පෙනී ගියා.

මුලින් වකුගඩු රෝගය හැඳින්වූයේ රජරට වකුගඩු රෝගය කියලා. නමුත් උතුරු මැද පළාත්වලට අමතරව රටේ තුනෙන් දෙකක ප්‍රදේශයක් තුළ වකුගඩු රෝගය පැතිරී තිබෙන නිසා රජරට වකුගඩු රෝගය යනුවෙන් හැඳින්වීම ඉවත් කරන්න සිදුවෙලා තිබෙනවා.

මම සෞඛ්‍ය ඇමැතිවරයා වශයෙන් සිටි කාලයේ තමයි ලංකාවේ වකුගඩු රෝගය පිළිබඳව පර්යේෂණයක් කරලා මේ සම්බන්ධයෙන් අදළ වාර්තාව නිර්දේශ ලබාදීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට භාරදුන්නේ.

මැතිවරණ ව්‍යාපාරයට ලැබුණු මුදල් මේ වකුගඩු රෝගීන් සඳහා අරමුදලක් ආරම්භ කරනවා. ඒ අරමුදලට දාන්න කියලා පසුගිය ජනාධිපතිවරණයේදී මම ඉල්ලීමක් කෙරුවා. මම ජනාධිපතිවරණයේදී පෝස්ටර් ගහන්නේ නැතිව කටවුට් බැනර් දාන්නේ නැතිව ඒ මැතිවරණය කළ යුතුයි කියලා රටේ සියලු දෙනාගෙන් ඉල්ලීමක් කළා. ඒ සඳහා ලැබුණු මුදල්වලින් බැංකු ගිණුමක් ආරම්භ කළා. 2015 අයවැය යෝජනාවෙන් ඒ බැංකු ගිණුම රජයේ ජාතික වකුගඩු අරමුදල විදියට නම් කරලා රජයේ දායකත්වය ඒ සඳහා ලබා දුන්නා.

රණවිරුවන් ආරක්ෂා කිරීම පිළිබඳව රජය ගෙනියන ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ ඉතාමත් ශක්තිමත්. රණවිරු දඩයම කියමින් රජයට චෝදනා කරනවා. ඒ රණවිරු දඩයම කියලා කියන්නේ රණවිරුවන් සම්බන්ධයෙන් කරන පරීක්ෂණ නෙවෙයි. එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන්ට විරුද්ධව සටන් කරලා ජයග්‍රහණය ලබපු සැබෑ රණවිරුවන් සෑමවිටම රජය ආරක්ෂා කරනවා. හමුදාපතිවරයාගේ සිට අවසාන රණවිරුවා දක්වා ආරක්ෂා කිරීම අපේ රජයේ වගකීමක්. ඒ ප්‍රතිපත්තිය මම බොහොම පැහැදිලිව මීට පෙර ප්‍රකාශ කළා. රණවිරුවන්ට හිරිහැර, කරදර කරනවා, ආබාධිත රණවිරුවන්ට එළව එළවා පහර දෙනවා යනුවෙන් පිළිකුල් සහගත ප්‍රකාශ කරනවා. ඒ ආබාධිත රණවිරුවන්ට එළව එළවා පහරදීම කියන සිද්ධියේදී ඒ ආබාධිත රණවිරුවන් කිහිප දෙනෙක් මෙහෙයෙව්වේ කවුද? ඒ ආබාධිත රණවිරුවන් සුළු පිරිසක් ගෙනැල්ලා ඊට ඇතුළත් වුණු රණවිරුවන් නොවන දේශපාලන ව්‍යාපාරවල ඉන්න ආණ්ඩුවට විරුද්ධ පිරිසක් එය මෙහෙයවලා පොලිසියත් එක්ක ගැටුමක් ඇති කර ගත්තා. ඒවා සම්පූර්ණයෙන්ම ආණ්ඩුවට විරුද්ධව නිර්මාණය කළ දේවල්.

කවුරුන් කෙසේ කොහොම කිව්වත් ජාත්‍යන්තරය තුළ විදේශ බලවේග ඒ කිසිම කෙනකුට අපේ රණවිරුවන්ට අත තියන්නවත් මම ඉඩ දෙන්නේ නැහැයි කියන එක ඉතාම පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා.

පහන් විජේසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්