උමා ඔයේ අවතැන් වූවන්ට සහන සැලැසීමේ ආණ්ඩුවේ පිළිවෙත මන්දගාමී වීම ගැන ජනාධිපති දැනුවත් කළ යුතුයි

  👤  3355 readers have read this article !
By mawbima 2017-09-13

වැලිමඩ - අර්නි දඹදෙණිය

උඩරට කඳුකරයට ලැබෙන මහ වැසි සක්‍රිය වීමත් සමඟ උමා ඔය ව්‍යාපෘතියේ සිදුවන භූගත කැණීම් හේතුවෙන් ප්‍රදේශයේ භූ පැළුම් හා නිවාස ඉරිතැළීම් 18ක් පෙන්නුම් කර තිබෙන බැවින් ප්‍රදේශවාසීන් මහ පොළොවට වැළලී යන තුරුම අවතැන්වූවන්ට සහන සැලසීමේ රජයේ ප්‍රතික්‍රියා මන්දගාමීව සිදුවීම ගැන ජනාධිපතිවරයා දැනුවත් කළ යුතු බව උමා ඔය බහු විනාශකාරී ව්‍යසනයට එරෙහි ජනතා පෙරමුණේ සම සභාපති කුරුකුදේ ජිනානන්ද නාහිමියෝ පවසති.
උන්වහන්සේ මෙසේ පැවැසුවේ පසුගියදා දික්ඕවිට උඩුහුල්පොත මැදහින්න හා තන්නරිය යන ගම්වැසියන් උඩුහුල්පොත විහාරස්ථානයට කැඳවා පවතින තත්ත්වය ගැන කළ සාකච්ඡාවකදීය.

ලබන 28 වැනි දින ජනාධිපතිතුමා බදුල්ල ප්‍රදේශයට පැමිණෙන බවට ආරංචියක් තිබෙන නිසා උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත්වූවන්ගේ නියමාකාර තත්ත්වය දැක ගැනීමට පැමිණෙන ලෙස තමා පෞද්ගලිකව ජනාධිපතිවරයාට ආරාධනාවක් කරන බව උෟව පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතා මෙහිදී සඳහන් කළේය.
මේ වන විට අනතුරුදායක තත්ත්වයක් පවතින ප්‍රදේශවල පවුල් 70කට පදිංචි ස්ථානවලින් ඉවත් වන ලෙසට බදුල්ල ආපදා කළමනාකරණ ඒකකය උපදෙස් දී තිබේ.
පවතින උග්‍ර පානීය ජල ගැටලුව ගැන ගම්වාසීන් මෙහිදී කරුණු ඉදිරිපත් කළේය. දැනට පානීය ජලය සපයනු ලබන්නේ මාසයකට දෙවරක් පමණක් බැවින් එය කිසිසේත්ම ජනතා අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් නොවන බවත් පැවැසීය.

මේ හැරුණු විට ආපදාවලින් අවතැන් වූවන්ට රජය ගෙවනු ලබන ගෙවල් කුලී දීමනාවන් මෙතෙක් ලබා නොදීම පිළිබඳවද සාකච්ඡාවට ලක් විය.
එසේම ගම්වැසියන් මෙහිදී අවධාරණයෙන්ම මේ නියෝජිතයන්ට දන්වා සිටියේ ආපදාවට ලක් වූවන් බොහෝ දෙනකුට රජයේ නිලධාරීන් දන්වා සිටිනුයේ ළඟම ඥාති නිවෙසකට යොමු වන ලෙසට වුවත් එය කොතෙක් දුරට සාර්ථක විසඳුමක් ලෙසට පිළිගත නොහැකි බවකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්