ගම්මිරිස් කඩන්න ගිය ගොවියා කොටියකු සමඟ පොර බදා නූලෙන් බේරේ

  👤  3452 readers have read this article !
By mawbima 2017-09-13

හන්තාන - චමින්ද කුමාර, හේවාහැට - සරත් උළුවිටිකේ

කොටියකු සමඟ පොරබදා ජීවිතය බේරාගත් ගොවියකු මේ වන විට තලාතුඔය ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
තලාතුඔය මහමැදගම ගලපාමුල ගම මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි ඉතා දුෂ්කර ගම්මානයකි. පසුගිය කාලයේ නාය යෑමේ තර්ජනයට පවා මුහුණ දුන් මේ ප්‍රදේශය ජනාවාස වීමට පටන් ගෙන ඇත්තේ එක් දහස් නවසිය හැට හයේ පමණය.
ගමේ වැඩි දෙනකුගේ රැකියාව ගොවිතැන හා කුලී වැඩය. වයස අවුරුදු හැට නවයක් වන මුතුබණ්ඩාද ගොවියකු වන අතර තම දරුවන් හතර දෙනා සමඟ ගලපාමුල ගමේ බොහෝ කාලයක් පදිංචිව සිටින්නෙකි.

පසුගිය දිනෙක තම වත්තේ ඉහළට වන්නට ඇති ගම්මිරිස් වැලක ගම්මිරිස් කැඩීමට ගොස් සිටියදී ඔහු මේ භයානක අතුරට මුහුණ පා ඇත.
අඩි නවයක් පමණ උස් වූ ගලක් මත නැඟ සිටි ඔහුට එකවරම දැක ගත හැකි වූයේ කොටියකු තමා දෙසට වේගයෙන් දිව එන ආකාරයකි. ඇසිපිය හෙළන්නටත් පෙර කොටියා ඔහුගේ ඇඟට පැන ඇත. කොටියා සමඟ පොර බැදීමෙන් හිසට පිටට හා අත්වලට දරුණු නියපොතු පහරවල් එල්ල වී ඇත.
කොටියා අඩි දෙකට වඩා උස වන අතර වලිගය සමඟ දිග අඩි හතක් පමණ වන බව මොහු පවසයි.
පොර බැදීමත් සමඟ එක් වරම මොහු ගල පල්ලට වැටී ඇති අතර කොටියාද අනෙක් පසට වැටී ඇත. කෑ ගසා නිවෙස දෙසට පැමිණි ඔහු රෝහලට ගෙන යෑමට ත්‍රිරෝද රථයක් සොයා ගැනීමටත් කිලෝමීටර් දෙකක පමණ පැමිණිය යුතුය.

වහාම තලාතුඔය රෝහලට ඇතුළත් කළ ඔහුට රෝහලේ වෛද්‍යවරු යුහුසුලුව ප්‍රතිකාර කොට වැඩිදුර පරීක්‍ෂණ සඳහා පේරාදෙණිය රෝහලට යවා ඇත. එහිදී පරීක්‍ෂණ කිරීමෙන් අනතුරුව නැවතත් තලාතුඔය රෝහලට නේවාසික ප්‍රතිකාර කිරීම සහා එවා ඇති අතර මේ වන විට තුවාල සුව අතට හැරෙමින් පවතින බව ඔහු පවසයි.
කොටියා සමඟ පොර බැදි සිද්ධිය මතක් වන විට දැනුත් ඇඟ හිරිවැටෙන බවත් පෙර පිනකට තමාගේ ජීවිතය බේරුණු බවත් මුතුබණ්ඩා මහතා පවසා සිටී.
මේ පෙදෙස්වල මීට පෙර මෙවැනි සිද්ධි වාර්තා නොවුණු අතර දි වියන් කොටියන් දැකපු පුද්ගලයකුවත් ගමේ නොසිට ඇත. එහෙත් අද වන විට ගල පාමුල ප්‍රදේශය මෙන්ම හන්තාන කඳු පන්තිය හා සම්බන්ධ බොහෝ ගම්මානවලට මේ කරදර ඇතිවී ඇත.

පසුගිය දිනක ලූල්කඳුර වත්තේ විශාල කොටියකු මියගොස් සිටියේය. බළල් දිවියන්ට අමතරව හඳුනාගත් කඳුකර කොටියකු ද මේ වන විට මේ වනාන්තරවල ඇත.
සිද්ධියෙන් පසු ගලපාමුල ගමේ ජනතාව සඳහා වනජීවී නිලධාරීන් පැමිණි අලි වෙඩි ලබා දී ඇති අතර අනතුරට මුහුණ පෑ මුතුබණ්ඩා මහතාට වන්දියක් ලබා දෙන බවද පවසා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්