මාමණ්ඩිය අධිපතිව සිටි කාලයේ ඇලෝසියස් ශ්‍රී ලංකා මහ බැංකුවත් මුළා කොට ඇති බව පෙනෙනවා

  👤  3490 readers have read this article !
By mawbima 2017-09-13

කමල් මහේන්ද්‍ර වීරරත්න

සිය මාමණ්ඩිය වන අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති වූදා සිට වසර 1 1/2කට අධික කාලයක් තිස්සේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගේ සමාගම විසින් විවිධ නාමවලින් ඇති තමන්ගේම සමාගම් සමඟ සිදුකර ඇති රැවටිලිකාර පොතටම පමණක් සීමා වූ ගනුදෙනු හරහා රුපියල් බිලියන ගණන් අයුතු ලාභ උපයා ගෙන ඇති බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට ප්‍රශ්න කිරීම් හමුවේ බැඳුම්කර කොමිසමේදී පිළිගන්නට සිදුවිය.

පර්පචුවල් ඇසෙස්ට් මැනේජ්මන්ට්, පර්පචුවල් කැපිටල් හෝල්ඩිංග්ස්, ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් ස්කාගාර සමාගම යන සමාගම් සමඟ බැඳුම්කර ගනුදෙනු සිදුවූ බවට ශ්‍රී ලංකා මහ බැංකුවට ඉදිරිපත් කොට ඇති වාර්තා මඟින් සිදු කර ඇත්තේ රටේ මූල්‍ය මර්මස්ථානය වන මහ බැංකුව මුළා කිරීමක් නොවේ දැයි කොමිසම කරන ලද විමසුමේදී සාක්ෂිකරුට දීමට පිළිතුරක් නොමැති විය.

කොමිසම පෙරේදා(11දා) රැස්වූ අවස්ථාවේදී තවදුරටත් පර්පචුවල් ට්‍රෙෂරීස් ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන සාක්ෂි විමසුම සඳහා කොමිසම හමුවට කැඳවා සිටි අතර අතිරේක සොලිසිටර් ජනරාල් ධුරයට උසස්වීම් ලැබූ ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතාට සුබ පැතුම් සමඟ කොමිසමේ කටයුතු ආරම්භ විය.
ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා සාක්ෂිරුවන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කෙළේය.

කොමිසම එහි සභාපති ජේ‍යෂ්ඨ ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ.ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් හා කොමිසමේ සෙසු සාමාජිකයන් වන ජේ‍යෂ්ඨ ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාර ප්‍රසන්න එස්. ජයවර්ධන, විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් රැස්විය.

කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසූරිය මහතාගේ පූර්ණ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසමෙහි සියලු අංශ ක්‍රියාත්මක වෙයි.
නීතිපති දෙපාර්තමේන්තුවේ ජේ‍යෂ්ඨතම අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාගේ ප්‍රධානත්වයෙන් වූ ජේ‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ, අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන යන ජනාධිපති නීතිඥවරුන් තිදෙනකුගෙන්ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරුන් හා ජේ‍යෂ්ඨ රජයේ නීතිඥවරුන් කණ්ඩායමකගේද සහායෙන් කොමිසමේ විමර්ශන කටයුතු හා සාක්ෂි මෙහෙයවීම් ඇතුළු කටයුතු සිදුවේ.

ඊට මතරව කොමිසමේ පරීක්ෂණ කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (ඛ්ධ්ච්) ප්‍රවීණ නිලධාරීන්ගෙන් සැදුම්ලත් පරීක්ෂණ කණ්ඩායමක් හා කොමිසමේ ආරක්ෂාව සඳහා පොලිසියේ 18 දෙනකුගෙන් යුතු විශේෂ පොලිස් කණ්ඩායමක්ද යොදවා සිටිති.
සාක්ෂි විභාගය ආරම්භයේදීම සාක්ෂිකාර කසුන් පලිසේනට ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවක් ඉදිරිපත් කරමින් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කෙළේය.
ප්‍රශ්නය

2015 පෙබරවාරි මස 27 වැනි දින එනම් ආන්දෝලනාත්මක ප්‍රථම භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සිදුව ඇති දිනයේ සිට 2016 සැප්තැම්බර් මස 29 වැනි දින දක්වා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් සිදුකරනු ලැබ ඇති බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විස්තර ඔබ අතට පත්කොට ඇති ලේඛනයේ සටහන්ව තිබෙනවා නේද?
පිළිතුර
ඔව්. ස්වාමිනී. නිවැරැදියි.

ප්‍රශ්නය
එම ලේඛනයෙහි පැහැදිලිවම දැක්වෙන්නේ ඔබ සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉදිරිපත් කරන ලද තොරතුරු මත පදනම් වී සකස් කරන ලද තොරතුරු බවත් ඔබ පිළිගන්නවාද?
පිළිතුර
ඔව්. ස්වාමිනී. පිළිගන්නවා.

ප්‍රශ්නය
එම ගනුදෙනු සියල්ලක්ම පාහේ සිදුව ඇත්තේ ඔබගේ සමාගම වන පර්පචුවල් ට්‍රෙෂරීස්, පර්පචුවල් කැපිටල් හෝල්ඩිංග්ස්, පර්පචුවල් ඇසෙස්ට් මැනේජ්මන්ට් සහ ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් ස්කාගාර සමාගම් අතරම නේද?

පිළිතුර
නැහැ. ස්වාමිනී වෙනත් සමාගමුත් තිබෙනවා.

ප්‍රශ්නය
තවත් කීපයක් තිබෙනවා. දෙකක් හෝ තුනක් සමඟ ඉඳ හිට ගනුදෙනු කර තිබෙනවා. බොහොම සුළු සුළු ගනුදෙනු කීපයක්.
ඒක නිසා තමයි ඔබගෙන් විමසුවේ ගනුදෙනු හැම එකක්ම පාහේ කියලා.

විනිසුරු ජයවර්ධන මහතා (සාක්ෂිකරු අමතමින්)
කරුණාකර අසන ප්‍රශ්නයට හොඳින් සවන් දී එය වටහාගෙන ඊට අදාළ පිළිතුරු පමණක් දෙන්න.

ප්‍රශ්නය
වැඩිපුරම ගනුදෙනු වී තිබෙන්නේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්තුමා අසන ලද නම් සඳහන් සමාගම් දෙක තුන අතරේ බව ඔබ පිළිගන්නවාද?
පිළිතුර
එහෙමයි ස්වාමිනී මා පිළිගන්නවා.

ප්‍රශ්නය
අන්න ඒ ආකාරයෙන් ප්‍රශ්නය තේරුම් ගෙන උත්තර නොදී වෙන වෙන වැල්වටාරම් කියවමින් නාස්ති කරන්න කාලයක් කොමිසමට නැහැ.
නි.සො.ජ.

ප්‍රශ්නය
එකින් එකට මා විස්තර කරන්න ගියොත් සෑහෙන කාලයක් ගත වෙන නිසා මම 'ආදර්ශයක්' වශයෙන් කිහිපයක් ගෙන ඒවා ගැන පමණක් ඔබෙන් විමසුවේ නම් ඒවාට හරියට පිළිතුරු දෙන්න.

 ප්‍රශ්නය
මේ ගනුදෙනු හැම එකකදීම සිදුව තිබෙන්නේ එකම රටාවක් අනුව. 'පර්පචුවල් එකෙන් අනෙක් සමාගමට විකුණනවා. ඊළඟට එම ගනුදෙනුව අනෙක් අතට හරවමින් එදිනම හෝ ඊට පසු දිනම ඒ සමාගමෙන් පර්පචුවල් සමාගම මිලදී ගන්නවා.

පිළිතුර
එහෙමයි ස්වාමිනී.
ප්‍රශ්නය
හැමදේම සමානයි මිල පමණයි වෙනස් වෙන්නේ.

පිළිතුර
ඒක සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි.
විනිසුරු ජයවර්ධන (සාක්ෂිකරු අමතමින්)
ප්‍රශ්නය
කරුණාකර අසන ප්‍රශ්නයට පමණක් කෙටියෙන් පිළිතුරු දෙන්න. දැන් අවස්ථා ගණනාවකදීමත් ඔබට කියා සිටියා නේද? එහෙත් ඔබ කරන්නේ ඒ දෙයම නේද?
පිළිතුර
සමාවෙන්න ස්වාමිනී.

විනිසුරු ජයවර්ධන
'සමාව ඉල්ලලා වැඩක් නැහැ. මම ඔබට තරයේම අවවාද කර සිටිනවා ඔය වැඩේට සූදානම් වෙන්න එපා.'
අපිව ලෝකෙ වටේ අරන් යන්න හදන්න එපා' අපට සරල සත්‍යය' පමණක් පවසන්න. කොමිසමේ කාලය මරන්න ලෑස්ති වෙන්න එපා!

ප්‍රශ්නයෙන් පැනලා යන්න හදන්නත් එපා!
විනිසුරු ජයවර්ධන
ඔබෙන් ඇසූ ප්‍රශ්නය ඉතාමත්ම පැහැදිලි ප්‍රශ්නයක් නේද? ඇසුවේ මේ හැම ගනුදෙනුවකදී වගේම වෙලා තියෙන්නේ එකම ගනුදෙනුවක් 'මිල' පමණක් වෙනස් වෙලා තියෙනවා නේද කියලයි. මොකක්ද ඒකට ඔබගේ පිළිතුර.
පිළිතුර
ස්වාමිනී එහෙමයි වෙලා තිබෙන්නේ.

නි.සො.ජ.
මේ ගනුදෙනුවලින් කාට ලාභ ලැබුණත් අවසානයේ ඒ ලාභය ලැබෙන්නේ කාටද? අර්ජුන් ඇලෝසියස්ට කියා කීවොත් වැරැදිද?
පිළිතුර
නැහැ. ස්වාමිනී නිවැරැදියි.

ප්‍රශ්නය
2015 පෙබරවාරි 27 සිට 2016 සැප්තැම්බර් 29 දින දක්වා සිදුකෙරුණු බැඳුම්කර ගනුදෙනුවල විස්තර දැන් ඔබ අතේ තිබෙනවා නේද?
පිළිතුර
එහෙමයි ස්වාමිනී. තිබෙනවා.

ප්‍රශ්නය
පේළි අංක 2615 සිට 6864 දක්වා වූ අති විශාල ගනුදෙනු ප්‍රමාණයක් අතුරින් ඔබ සමාගම සිදු කර ඇති ගනුදෙනු කීපයක් පමණයි මෙහිදී 'ආදර්ශයක්' ලෙස ගෙන ඇත්තේ. ඒවා අනුව ඔබ පිළිගන්නවාද? මේ ගනුදෙනු ඇත්තෙන්ම සිදුවූ ඒවා නොව කෘත්‍රිම ලෙස නිර්මාණය කොට පොත්පත්වල සටහන් කරන ලද රැවටිලිකාර ගනුදෙනු කියලා?
(සාක්ෂිකරු මඳ වේලාවක් නිහඬව සිට පිළිතුරු දෙයි)

පිළිතුර
ඔව්. ස්වාමිනී. මා පිළිගන්නවා.
සාක්ෂි විභාගය යළි අද උදේ 10.30ට ආරම්භ වෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්