ටොරින්ටන් නව ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ඇරැඹෙයි

  👤  3360 readers have read this article !
By mawbima 2017-08-22

22-8-17-maw (21).jpg (600×350)

ක්‍රීඩා අමාත්‍යාංශයට වසර 50 ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන වැඩසටහන් මාලාවට සමගාමීව කොළඹ 7 ටොරින්ටන් ක්‍රීඩාංගණයේ නව ක්‍රීඩාගාරය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගියදා සිදුකරන ලදී. ක්‍රීඩා වෛද්‍ය ඒකකයට යාබද ටොරින්ටන් ක්‍රීඩංගණය ජාත්‍යන්තර මට්ටමට පත්කිරීමේ අරමුණින් ඉදිකෙරෙන මෙම නව ක්‍රීඩාගාරයට මුල්ගල් තැබීමෙන් අනතුරුව එහි සමරු ඵලකය විවෘත කිරීම මංගල සමරවීර මහතා සමඟ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල යන මහත්වරුන් අතින් සිදුකෙරිණි.

රුපියල් මිලියන 190ක වියදමින් ඉදිකෙරෙන මෙම ක්‍රීඩාගාරය තුළ ප්‍රේක්ෂකාගාරයක්. ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයක් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවට අදාළ සියලුම අංගෝපාංගයන් ඇතුළත් කර තිබේ. එහිදී අදහස් දැක්වූ ප්‍රධාන ආරාධිතයා වූ මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පැවැසුවේ මේ වසර අග භාගයේ සිට ක්‍රීඩා අමාත්‍යවරයාට අලුත් කාර්යයක් පැවැරෙන බවයි. එනම් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම විශේෂ සැලැසුමක් සහිතව නව ක්‍රීඩා හා ව්‍යායාම මධ්‍යස්ථානයක් සමඟ හරිත උද්‍යාන නිර්මාණය කිරීමට රජය මුදල් වෙන්කර තිබෙන හෙයින් ඒවා ක්‍රියාත්මක කිරීම ක්‍රීඩා අමාත්‍යවරයාට පවරන බවද සමරවීර මහතා පැවැසීය.

මෙසේ ඉදිකරන නව හරිත උද්‍යාන සඳහා රුපියල් මිලියන 10ක ක්‍රීඩා උපකරණ ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා එකඟ වූ බවද එහිදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා "සුගතදාස ක්‍රීඩාංගණයේ වැඩ අවසන් කිරීමට ඉදිරි මාස දෙකේදී හැකි වෙනවා. ගෘහස්ථ ක්‍රීඩාගාර නොමැති ප්‍රදේශවල ක්‍රීඩාගාර ඉදිකිරීමට මේ වසරේදී මුදල් වෙන්කරදීම පිළිබඳව මුදල් අමාත්‍යවරයාට ස්තුති වන්ත වෙනවා. දියගම පිටිය හා නේවාසිකාගාර පහසුකම් ඇති කිරීමට අපට ඉදිරියේදී මුදල් ලැබෙනවා. ඉදිරි වසර කිහිපයේදී සියලු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අපට පුළුවන්" යනුවෙන් කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්