හය ලක්ෂයක් දෙනාගේ සමෘද්ධි ප්‍රතිලාභ කප්පාදු කළාට එරෙහිව 31දා දැවැන්ත උද්ඝෝෂණයක්

  👤  3392 readers have read this article !
By mawbima 2017-08-22

ආරියරත්න ගනේගොඩ

සමෘද්ධි ප්‍රතිලාභීන් වූ හයලක්ෂයක් දෙනාගේ සමෘද්ධියත් සමෘද්ධි නිලධාරීන්ට ලබාදුන් විශ්‍රාම වැටුපත් කප්පාදු කිරීමට එරෙහිව අගෝස්තු 31 වැනිදා පාර්ලිමේන්තුව වටකර දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන බව සමෘද්ධි ව්‍යාපාරය රැකගැනීමේ සංගමයේ ලේකම් බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රි ජගත් කුමාර මහතා පවසයි.
ජගත් කුමාර මහතා මේ බව පැවැසුවේ බත්තරමුල්ල, දෙණියවත්ත පාරේ සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ගේ සංගමයේ ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එස්.බී. දිසානායක ඇමැතිවරයාගේ අත්තනෝමතික තීරණය නිසා වැරැදි සමීක්ෂණයක් සිදුව ඇතැයි කියමින් සමීක්ෂණයෙන් කිසිවකුගේ සමෘද්ධි සහනාධාර කප්පාදු නොකරන බව කිව්වත් මේ වනවිට හය ලක්ෂයක් දෙනාගේ සමෘද්ධි සහනාධාරය කප්පාදු කර තිබෙන බවත් දිස්ත්‍රික් මට්ටමින් මේ වනවිටත් එම සමෘද්ධිලාභීන් උද්ඝෝෂණ හා විරෝධතා රැලි ගණනාවක්ම පැවැත්වූ බැව් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මඟින් අනාවරණය කර තිබෙන බවත් ජගත් කුමාර කීවේය.
ඔහු මෙසේද කීය.

අපි මේ ගැන කිව්වාම ඇමැතිතුමා කියන්නේ එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලයි. විද්‍යාත්මක ක්‍රමවේදයකට මේ සමීක්ෂණය කරනවලු. ඒ වගේම සහනාධාර ලබාදිය යුතු අලුත් පිරිස් හඳුනා ගන්නා බවත් එස්.බී. දිසානායක ඇමැතිවරයා කියලා තියෙනවා.

සමෘද්ධිය අලුතින් දෙන්නේ යූ.එන්.පී අයටදැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජගත් කුමාර මන්ත්‍රිවරයා කියා සිටියේ යූ.එන්.පී. අයට ලබාදෙන්නේ දැන් සමෘද්ධිය බුක්තිවිඳින අයගෙන් කපලා බවයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා කියනවා කිසිම කෙනකුගේ සහනාධාර කපන්නේ නැතිලු. ඒ වගේම ඒ සඳහා වෙන්කරන ප්‍රතිපාදන වැඩිකිරීමක් හෝ අඩු කිරීමක් සිදුකෙරෙන්නේ නැහැ. ප්‍රතිපාදන අඩ කරන්නේ හෝ වැඩි කරන්නේ නැත්තම් අලුතින් එකතුවන පිරිසට සහනාධාර දෙන්නේ හිටපු අයගේ නම් කපා හැරලා නෙවෙයිද..? දැන් ඒක තමයි සිදුවෙලා තියෙන්නේ. මෙය වහාම නිවැරැදි නොකළහොත් මුළු රටේම සමෘද්ධිලාභීන් මහපාරට බස්සනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්