බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් රනිල්ට එරෙහිව පරීක්‍ෂණයක් අරඹන්න

  👤  3510 readers have read this article !
By mawbima 2017-08-22

22-8-17-maw (13).jpg (600×350)

මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුවූ අක්‍රමිකතාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධවද වහාම පරීක්‍ෂණයක් ආරම්භ කරන ලෙසට තමා බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන ජනාධිපති කොමිසමට පසුගිය අගෝස්තු 14 වැනිදා ලිපියක් භාරදුන් බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඩිව් ගුණසේකර මහතා විසින් ඉදිරිපත් කළ කෝප් කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ අර්ජුන් මහේන්ද්‍රන්ව බැඳුම්කර මගඩියෙන් බේරාගැනීම සඳහා යැයි තමාට සැක සහිත බවද නානායක්කාර මහතා පැවැසුවේය.
වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා මෙසේ පැවැසුවේ ඊයේ (21දා) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
නානායක්කාර මහතා මෙසේද පැවැසීය.

බැඳුම්කර මිලදී ගන්නා ලෙසට අග්‍රාමාත්‍යවරයා විසින් තමාට බලකළ බවට අර්ජුන් මහේන්ද්‍රන් විසින් ඩිව් ගුණසේකර කමිටුව ඉදිරියේ ප්‍රකාශ කරලා තිබෙනවා. ප්‍රධාන තනතුරුවලට පුද්ගලයන් පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාව විසින්. නමුත් මහ බැංකුවේ සභාපති ව්‍යවස්ථා සභාවෙන් පත් කළේ නැහැ.

එයාව පත් කිරීමේ තනි වගකීම භාරගත්තේ අගමැතිතුමා. ඇයි එහෙම වගකීම භාරගත්තේ කියන එක ප්‍රශ්නයක්. එයාට ලංකාවේ දිවුරුම් දෙන්නත් බැහැ. එයා සිංගප්පූරුවේ පුරවැසියෙක්. එයාට එයාගේ සිංගප්පූරු පුරවැසිභාවය ලොකුයි. රනිල් කිව්වේ ඒකට කමක් නැහැ කියලායි. රනිල් කිව්වේ අපිට ඕනේ අපේ රටට මූල්‍ය සම්පත් විදේශවලින් ලබාදෙන්න පුළුවන් කෙනෙක් කියලායි.

පසුගිය කාලයේ රුපියලේ අගය විශාල වශයෙන් පහළ බැහැලා තිබෙනවා. ඒකට හේතුවුණු කාරණාව තමා විදේශ සම්පත් අපේ රටට නොපැමිණීම.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල් 130 ඉඳලා රුපියල් 150 වෙනකම් රුපියල වෙනස් වී තිබෙනවා. ඒ විදේශ ආදායම් නොපැමිණීම නිසයි.
මහ බැංකුව භාරව තිබුණේ මුදල් ඇමැතිතුමාටයි. නමුත් අගමැතිතුමා එය භාර ගත්තා. ඒ ඇයි? මෙයා ලේසි පහසු කෙනෙක් නෙවෙයි. ඒ කාලයේ කෝප් කමිටුවේ සභාපතිවරයා විදියට පත්වී සිටියේ ඩිව් ගුණසේකර මහතායි. එතුමා මේ සම්බන්ධයෙන් විශාල කමිටු වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වාර්තාවේ තියෙනවා මේ බැඳුම්කර සිද්ධිය ගැන.

මේ වාර්තාව ඉදිරිපත් කරන්නට යන විටම ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරෙව්වා. ඒ ඇයි? ජනාධිපතිතුමා කිව්වේ බැඳුම්කර වංචාවෙන් අගමැතිතුමා නිදහස් කළ යුතුයි කියලා. ඒ වචනෙම එතුමා නොකීවට ඒ වගේ අර්ථයක් තමා එදා ජනාධිපතිවරයා කීවේ.

මේ සිද්ධීන් පාර්ලිමේන්තුවේ කතා කළේ අපි. අනුර කුමාර දිසානායකලාවත්, සම්පන්දන්ලාවත් නෙවේ. අපි ගෙනාවා යෝජනාවක් මේ අර්ජුන් මහේන්ද්‍රන්ව ධුරයෙන් ඉවත් කළ යුතුයි කියලා. එදා කතානායකතුමා කිව්වේ එම යෝජනාව කෝප් කමිටුවට ඉදිරිපත් කරමු කියලායි. ඒ වාර්තාව පදනම් කරගෙන පාර්ලිමේන්තුවේ තීරණයකට එමුයි කියලායි එදා කතානායකතුමා කිව්වේ.

ඊට පස්සේ මේ ගැන සොයන්න අගමැතිවරයා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළා. එයා පත්කළේ සිරිකොතේ නීතිඥයන්. එයාලා ස්වාධීන පුද්ගලයන් නොවේ. මේ ත්‍රිපුද්ගල විනිසුරු කමිටුව අර්ජුන් මහේන්ද්‍රන්ව සම්පූර්ණයෙන්ම නිර්දෝෂී කරලා වාර්තාවක් ගෙනාවා. ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරපු අගමැතිතුමා මොකද කළේ. එයා සම්පූර්ණයෙන් අර්ජුන් මහේන්ද්‍රන්ව නිර්දෝෂී පුද්ගලයෙක් බවට පත් කළා.

අලුත් පාර්ලිමේන්තුව පත් වුණාට පස්සේ ඇතිවුණු කෝප් කමිටුව මඟිනුත් මෙම සිද්ධිවලට වරදකරුවා බවට පත් කළේ අර්ජුන් මහේන්ද්‍රන්වයි. අර්ජුන් ඇලෝසියස් සමඟ ඇතිකරගත් සම්බන්ධයක් මත මෙම බැඳුම්කර ගණුදෙනුව සිදුවුණු බවත් ඒ නිසා මෙම පාඩුව වුණා කියන එක තමයි නිගමනය.
එක්සත් ජාතික පක්‍ෂයෙන් කෝප් කමිටුවට එවපු වේළුකුමාර් කියන පුද්ගලයාව අයින්කරලා සුජීව සේනසිංහව දැම්මා. ඇයි එහෙම කළේ. සුජීව සේනසිංහ කෝප් කමිටුවට ගිහිල්ලා ඔහු කළේ අර්ජුන් මහේන්ද්‍රන්ව ආරක්‍ෂා කරන ක්‍රියා පිළිවෙළයි. අජිත් පෙර්රාත් මේකට සම්බන්ධයි. සුජීව සේනසිංහයි අජිත් පෙරේරායි මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීත් කිව්වේ මේවා බොරු කියලායි.

නමුත් විගණකාධිපතිගේ වාර්තාව ආවා. බිලියන 26ක් පාඩුයි මේ බැඳුම්කර සිද්ධියෙන්. නමුත් විගණකාධිපතිත් වැරැදියි කිව්වා. විගණකාධිපතිත් කෝප් කමිටුවට ගෙන්නුවා. යූ.එන්.පී. මන්ත්‍රිවරු හැදුවේ මෙම වාර්තාව බොරුයි කියලා විගණකාධිපතිගේ කටින්ම කියවා ගන්නයි.
ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්