ටිපර්-යතුරුපැදි ගැටුමෙන් දෙදෙනෙක් මරුට

  👤  3468 readers have read this article !
By mawbima 2017-08-22

අනුරාධපුර _ මහේෂ් විජේසූරිය, අනුරාධපුර _ එරන්ද ශෂිප්‍රිය

ගල් අඟුරු ප්‍රවාහනය කළ ටිපර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී අනුරාධපුර මිහින්තලය ප්‍රධාන මාර්ගයේ කන්නට්ටිය වංගුවේදී පෙරේරා (20දා) රාත්‍රියේ සිදුවූ මාරක රිය අනතුරකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වූ බව මිහින්තලය පොලිසියේ රථවාහන අංශය පවසයි.

අනතුර සිදුවූ ස්ථානයේදීම යතුරුපැදිය පැදවූ පුද්ගලයා මරණයට පත්වී ඇති අතර අනෙක් පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසුව මරණයට පත්වී තිබේ. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුරුන්දන්කුලම, මිහින්තලා පාර, අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි සුනිල් ශාන්ත පතිරාජ (43) දෙදරු පියා හා බෝධිරාජපුර, කුරුන්දන්කුලම, අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි ඒ.ඕ.ජී. අජිත් සෙනෙවිරත්න (42) නමැති තිදරු පියායි. ඔවුන් දෙදෙනා ලී වෙළෙදාමේ නිරත වන්නන් බව පොලිසිය පැවැසුවේය.

ත්‍රිකුණාමලයේ සිට පුත්තලමේ පිහිටි නොරොච්චෝලයේ තාප විදුලි බලාගාරයට ගල් අඟුරු ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථය මිහින්තලය _ ඉලුප්පුකන්නිය සමෘද්ධි බැංකුව අසල පිහිටි වංගුවේදී අනුරාධපුර සිට මිහින්තලය දෙසට පැමිණි යතුරුපැදියේ මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබෙන බව පොලිසිය පැවැසුවේය.
යතුරුපැදියේ ගමන් කළ දෙදෙනාම බීමතින් සිටින්නට ඇති බවට පොලිසිය සැක කරයි.

අපරීක්ෂාකාරි හා අන්තරාදායි අන්දමින් රිය පැදවූ බවට චෝදනා ලැබූ ටිපර් රථයේ රියැදුරු මිහින්තලය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර රියැදුරා ඊයේ (21දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. අනතුර සම්බන්ධයෙන් මිහින්තලය පොලිසියේ රථවාහන අංශය පරීක්ෂණ සිදු කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්