වන්දනා බස් රියකින් රු. 1000ක කප්පමක් ගත් පොලිසියේ දෙදෙනා 25 දා තෙක් රිමාන්ඩ්

  👤  3488 readers have read this article !
By mawbima 2017-08-22

දමුණුපොළ - චමින්ද ජයලත්

කෑගල්ල මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරිය කළ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයකින් රුපියල් 1000ක කප්පම් මුදලක් ලබා ගත්තේ යැයි අත්අඩංගුවට ගෙන කෑගල්ල වැඩබලන මහෙස්ත්‍රාත් මැල්කම් මචාඩෝ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම 25 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ කෑගල්ල මූලස්ථාන පොලිසියට අනුයුක්තව විවිධ පැමිණිලි අංශයේ රාජකාරි කළ පොලිස් සැරයන්වරයකු හා රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකි. මොවුන් දෙදෙනා රඹුක්කන සහ වරකාපොළ පොලිස් වසම්වල පදිංචිකරුවන් බවද අනාවරණය විය.
මෙම නිලධාරීන් දෙදෙනා ඉකුත් 08දා රාජකාරි කටයුතු සඳහා කෑගල්ල නව විකල්ප මාර්ගයේ මීපිටිය ඉන්ධන පිරවුම්හල අසල රාජකාරි කරමින් සිටියදී එම මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ගම්පහ, ‍ෙදාම්පේ ප්‍රදේශයේ වන්දනාකරුවන් පිරිසක් මහනුවර දළදා මාලිගාව ඇතුළු සිද්ධස්ථාන රැසක් වැඳ පුදා ගෙන ආපසු එමින් සිටියදී පෞද්ගලික බස් රථය නවතා එහි රියැදුරුගෙන් රුපියල් 1000ක මුදලක් ලබාගත් බවට බස් රථයේ රියැදුරුවරයා කෑගල්ල පොලිසියට දන්වා තිබිණි. පසුව සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා පලාගොස් තිබුණු අතර පෙරේදා (20දා) කෑගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රනීත් මානවඩු මහතාගේ මෙහෙයවීම මත ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඊයේ (21දා) කෑගල්ල අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එහිදී එම දෙදෙනා 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර එදින හඳුනා ගැනීමේ පෙරට්ටුවක්ද පැවැත්වීමට වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

කෑගල්ල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ආනන්ද සේරසිංහ මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි කමල් පෙරේරාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදුකෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්