මසට ගවයන් 17ක් ගෙන ගිය දෙදෙනා අත්අඩංගුවට

  👤  3379 readers have read this article !
By mawbima 2017-08-22

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

ගවයන් ප්‍රවාහනය කිරීම සඳහා කිසිදු නීත්‍යනුකූල බලපත්‍රයක් නොමැතිව මස් පිණිස ගවයන් 17 දෙනකු ප්‍රවාහනය කළ බව කියන සැකකරුවන් දෙදෙනකු සමඟ ලොරි රථයක් පොලිස් හදිසි ඇමැතුම් අංශයේ නිලධාරීන් විසින් ඊයේ (21දා)උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් ත්‍රිකුණාමලයේ සිට කොළඹ ප්‍රදේශයට ගවයන් ගෙනයද්දී පොලිස් හදිසි ඇමැතුම් අංශයේ නිලධාරීන් අනුරාධපුර පූජා නගරයේ රාජකාරියේ නිරතව සිටිනු දැක පොලිසිය මඟහැර යෑමට උත්සාහ දැරුවත් පොලිස් නිලධාරීන් ලොරි රථය පිටුපස හඹාගොස් මිරිසවැටිය චෛත්‍ය ආසන්නයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.
එළ ගවයන් අටක් පමණ ගෙන යා හැකි ලොරි රථයේ ගවයන් 17 දෙනකු ගාල් කර සිටීම හා ගවයන් ප්‍රවාහනයට නිසි බලපත්‍ර නොමැති වීම හේතුවෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

ගවයන් ප්‍රවාහන කිරීම සඳහා ත්‍රිකුණාමලයෙන් නිකුත් කළ බලපත්‍රයේ උදෑසන හයේ සිට සවස හය දක්වා සතුන් ප්‍රවාහනයට අවසර ලබා දී තිබුණත් ත්‍රිකුණාමලයේ සිට විනාඩි 45ක කාලයක් තුළ අනුරාධපුර නගරයට ගවයන් රැගෙන ආවේ කෙසේ දැයි පොලිසිය ප්‍රශ්න කළ අවස්ථාවේ මැදවච්චිය හල්මිල්ලකුලමෙන් ගවයන් පැටවූ බව සැකකරුවන් පොලිසියට පවසා තිබිණි.

එහෙත් ගවයන් අලෙවි කළ පුද්ගලයකු නිකුත් කළ කිසිදු බිල්පතක් ඔවුන් සන්තකයේ නොතිබූ බවත් ගවයන් කිසියම් ස්ථානයකින් හොරකම් කර හොර රහසේ කොළඹට ගෙන යෑමට උත්සාහ කළේද යන්න පිළිබඳව සැක මතු වී තිබෙන බව පොලිසිය පැවැසුවේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (21දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. පොලිස් හදිසි ඇමැතුම් අංශයේ සැරයන් ශ්‍රියානන්ද (20543), පොලිස් කොස්තාපල් කැලේගම (46375) යන නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්