උදයංග වීරතුංග කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

  👤  3381 readers have read this article !
By mawbima 2017-08-22

අමිල අබේරත්න

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා සැපයීම හරහා අයුතු ලෙස මුදල් උපයා රජයේ මුදල් අවභාවිත කළේ යැයි සැකකරුවකු ලෙස නම්කර සිටින හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතාට නිකුත් කර තිබෙන වරෙන්තුව ආපසු කැඳවන ලෙස හා ගුවන් ගමන් බලපත්‍රය අවලංගු කිරීමටද ඇති නියෝගය ඉවත් කරන ලෙසට අධිකරණයෙන් කළ ඉල්ලීම කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසාවිනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (21දා) ප්‍රතික්ෂේප කළාය.

මිග් යානා ගිවිසුමට තම සේවාදායකයා සම්බන්ධ නැති බවත්, සැකකරුවකු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවත් තම සේවා දායකයා විදේශගතව සිටින බැවින් වරෙන්තු නිකුත් කිරීම අවිධිමත් බවත් සඳහන් කරමින් ඔහුගේ නීතිඥවරයා මෙම ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණු අතර උදර්පණ නීතිය යටතේ වෙනත් රටක සිටින කෙනකු මෙරට ගෙන්වා ගැනීම අධිකරණයට බලයක් තිබෙන බවත් ඔහු සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ මඟහරිමින් සිටින බවට කරුණු අනාවරණය වන බවත්, නීතිය ගරුකරන පුද්ගලයකුගේ ක්‍රියාකලාපය ඔහු අනුගමනය නොකර ඇති බව හා ඔහු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වැරදි සිදුකර ඇති බව දන්වා සිටිමින් මහෙස්ත්‍රාත්වරිය මෙම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනු ලැබුවාය. සිද්ධිය සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය මූල්‍ය අපරාධ කොට්ඨාස නිලධාරීන්ට දැනුම් දෙනු ලැබිණි.

මිග් යානා ගිවිසුම සම්බන්ධ ගිවිසුමේ පිටපතක් ලබාගෙන තිබෙන බව මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් මහතාද එහිදී අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඉල්ලීම් ඉදිරිපත් කරමින් උදයංග වීරතුංග මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයේ පෙනී සිටි අතර නීතිපති නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා සහ ගුවන් හමුදාව නියෝජනය කරමින් නීතිඥයකු අධිකරණයේ පෙනී සිටිනු ලැබුවේය.
නොවැම්බර් 2 වැනිදා නඩුව යළි කැඳවීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්