හෘද සාක්ෂියක් ඇති මිනිස්සු නිසයි මහින්ද පැරැදිලා මෛත්‍රි දිනුවේ

  👤  3424 readers have read this article !
By mawbima 2017-08-22

22-8-17-maw (19).jpg (600×350)

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට තරම් පිළිගැනීමක් කිසිම දවසක අපේ රාජ්‍ය නායකයකුට මෑත කාලයෙන් ලෝකයෙන් ලැබුණු බව මම දැක්කේ නැහැ. ඇමැතිවරු විදියට අද අපි විදේශ රටකට ගියාම අපිට විශාල පිළිගැනීමක් තියෙනවා. මුළු ලෝකෙම බලාගෙන ඉන්නවා මේ රට ඇති කරගත්ත නිදහස ඉස්සරහට ගෙනයන ආකාරය පිළිබඳ. ඒ වගේම මේ රටේ පිරිසුදු දේශපාලනය පිළිබඳව ජනාධිපතිතුමා ගන්නා තීන්දු පිළිබඳ ලෝකයේ හොඳ විශ්වාසයක් දිනාගෙන තියෙනවා.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය, මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ පැවැසුවේ පෙරේදා (20දා) තංගල්ල ආදාහනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මෙසේද කීය.
කෙහෙල් කොළේ බත් එකක් ඔතාගෙන කන මේ රටේ ජනාධිපතිවරයා ගැන ලංකාවේ ජනතාව කොහොම තක්සේරු කළත් ලෝකේ ජනතාව ඉතා ඉහළින් කල්පනා කරනවා. ඒ අය ඒක අගය කරනවා. සරලව ජීවත් වෙන්න ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය අතහැරලා සාමාන්‍ය නිවෙසකට ගොස් විදුලි බිල, ජල බිල, රජයේ වියදම් අවම කරගෙන ජීවත් වෙන ජනාධිපතිවරයෙක් දිහා ලෝකේ ඉතාමත් විමසිල්ලෙන් බලනවා. වාහන දහස් ගාණක් ප්‍රතික්ෂේප කරලා, කාර්ය මණ්ඩලයේ දහස් ගාණක් වෙනත් ස්ථානවලට යොදවලා අවම වාහන ප්‍රමාණයක්, අවම කාර්ය මණ්ඩලයක් සහිතව ජීවත්වෙන ජනාධිපතිවරයෙක් ගැන ලෝකේ අද කතා කරන්න පටන් අරන්.
අමාත්‍යවරුන් වන අපිට ජනාධිපතිතුමා උපදෙස් ලබා දෙමින් කිව්වා කිසිම වැරැද්දකට සම්බන්ධ වෙන්න එපා කියලා. ඒ වගේම මම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමැතිවරුන්ට කියන්නේ කොච්චර මාත් එක්ක හිතවත් වුණත් ඒ අයට එරෙහිව කටයුතු කරනවා කියලා එතුමා කිව්වා. ඒ වගේම වැරැදිවලට හසු වෙන්නේ නැතිව අවංකව කටයුතු කරන ලෙසත්, රට වෙනුවෙන් හැඟීමකින් යුතුව ජනතා මුදල් නාස්ති කරන, වංචා කරන කිසිම දේකට යන්න එපා කියලාත් කිව්වා.

අපේ රටේ සමහරුන්ට ඒක ගැළපෙන්නේ නෑ. අපේ කට්ටිය ජනාධිපතිවරයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඊට වැඩිය දේවල්. ඇමැතිවරයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඊට වැඩිය දේවල්. නමුත් යථාර්ථය තේරුම් ගත්ත කණ්ඩායමක් ලංකාවේ ඉන්නවා. ඒ තමයි උගත් තරුණයන්. මේ ඡන්දේ පාවිච්චි කරන්නේ හොඳට හිතලා බලලා. පාරට බැහැලා කෑගහන රැස්වීම්වලට යන කට්ටිය විතරක් නෙවෙයි ඡන්දය පාවිච්චි කරන්නේ. හෘද සාක්‍ෂියට නිහඬව ගිහිල්ලා එකඟව ඡන්දේ පාවිච්චි කරන ලක්ෂ පහළොවක පමණ ජනතාවක් මේ රටේ ඉන්නවා. ඒ ඡන්ද නිසා තමයි මෛත්‍රි මහත්තයා දිනුවේ. නැත්නම් මහින්ද රාජපක්‍ෂ මහත්තයට තරම් සෙනඟක් හිටියේ නෑනේ මෛත්‍රි මහත්තයට. මේ පැත්තේ ආවෙත් නැහැ. එක රැස්වීමක්ද දෙකක්ද කොහෙද තිබ්බෙත්. ඒවටත් ලොකු සෙනඟක් නැහැ. හැබැයි පෝස්ටර් ගැහුවෙත් නෑ. කටවුට් ගැහුවෙත් නෑ. එතුමට විරුද්ධව අපි දේශපාලනය කළේ. චරිත ඝාතනය කළේ නැති වුණත් අපි වැඩ කළේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට. හැබැයි ඡන්ද ප්‍රතිඵලය කොහොමද? අපි බෙදන්න ඕන ඔක්කොම බෙදුවා. අපි කරන්න ඕන ඔක්කොම වැඩ කළා. හැබැයි ඡන්ද ප්‍රතිඵල එනකොට ලංකාවේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා දිනලා ඉවරයි. අපිටත් හිතාගන්න බැහැ. ඒක තමයි ඇත්ත. ඒක තමයි ඡන්දදායකයන්ගේ ඡන්දය භාවිත කිරීමේ ක්‍රමවේදය. අනාගතයේදීත් මේ රටේ ඡන්දය පාවිච්චි වෙන්නේ ඒ විදියට තමයි.

ඉරිදා පත්තර බැලුවම මිනිසුන්ගේ මොළේ විකාර වෙනවා. පත්තර විස්සක් විතර ගත්තම තියෙන්නේ ප්‍රවෘත්ති විස්සක් තියෙන්නේ. ඒක බැලුවම හිතෙනවා ඊළඟ දවස වෙද්දී ආණ්ඩුව පෙරළෙයි කියලා නිකන් කියන්නේ ලබන සතියේ ඉඳලා ආණ්ඩුව ඉවරයි වගේ. එකක කියනවා යූ.එන්.පී. එක වෙනම ආණ්ඩුවක් හදනවා කියලා. අනෙක් එකේ කියනවා ශ්‍රී ලංකා එක වෙනම ආණ්ඩුවක් හදනවා කියලා. මෙහෙන් කියනවා ඉන්න අගමැතිතුමා අයින් කරනවලු. අරහෙන් කියනවා ඉන්න ශ්‍රී ලංකා කට්ටිය අයින් කරනවලු. මේ වගේ දවසින් දවස එක එක බොරු නිර්මාණය කරනවා. මම කැබිනට් මණ්ඩලයේ ඉන්නවා. දිලිප් ඇමැතිතුමා, අපි අමාත්‍ය මණ්ඩලවල කටයුතු කරනවා. මේ අපි දන්නේ නැති දේවල් පත්තරකාරයෝ දන්නවා. මාර වැඩේ. මේවා හොඳයි ආණ්ඩුව හදන්න සිහින මවන කට්ටියට. අපි ලෝකෙ කොන් වෙලා තිබුණු රටක්. අපි ලෝකේ පිළිගැනීමට ලක් නොවුණු රටක් විදියට තිබුණා. අපිට විවිධ සම්බාධක පනවමින් තිබුණා. අපිට විවිධ ආකාරයේ තහංචි පනවමින් බලපෑම් කරන මට්ටමේ තිබුණා. අපිට ඒ වෙලාවේ ලොකු බලපෑමක් ආවා ජිනීවාවලින්. ඒ වෙලාවේ තමයි කතා වුණේ විදුලි පුටුව ගැන. ජාත්‍යන්තර යුද්ධාධිකරණ, ජාත්‍යන්තර පරීක්‍ෂණ ගැන කතා වුණේ. දැන් ඒක සම්පූර්ණයෙන් ඉවර කරගන්න පුළුවන් වුණේ ජාතික ආණ්ඩුව ගැන ලෝකේ ඇති කරගත්ත විශ්වාසය ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් පක්‍ෂ දෙකක නායකයෝ විදියට එකට ආණ්ඩු කරන එක ගැන. මුළු ලෝකෙම ප්‍රසාදයක් තියෙනවා. ජනාධිපතිතුමා මුළු ලෝකෙම දිනාගත්තු නායකයෙක් බවට පත්වෙලා තියෙනවා. මම එතුමන් එක්ක සම්බන්ධ වුණා සමුළුවලට. මම දැක්කා කොහොමද අපේ රටේ නායකයාට බලවත් රාජ්‍යවල නායකයෝ සලකන්නේ කියලා. මම ජනාධිපතිවරු තිදෙනෙක් එක්ක විදේශගත වෙලා තියෙනවා අවස්ථා ගණනාවකදී. චන්ද්‍රිකා මැතිනියත් එක්ක, මහින්ද රාජපක්‍ෂ මැතිතුමා එක්ක. ඒ වගේම තුන්වැනියට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාත් එක්ක.

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා මෙසේ පැවැසීය.
මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ජනාධිපතිවරයා විදියට ඉන්න කාලේ එක්සත් ජාතික පක්‍ෂයේ පිරිසක් අරගෙන එවකට නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහත්තයා ප්‍රමුඛ මෙවැනි සම්මුතිවාදී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. හැබැයි මැතිවරණයකින් පස්සේ ප්‍රධාන පක්‍ෂ දෙක එකතු වූ පළමුවැනි වතාවයි මේ. එවැනි අවස්ථාවක රටේ ජනාධිපතිවරයා හැටියට විධායකය හැටියට එතුමා තීන්දුවක් ගන්න ඕන ආණ්ඩුවක් පිහිටුවන්න. ඒ අනුව තමයි වර්තමානයේ පවතින සම්මුතිවාදී ආණ්ඩුව බලයට ආවේ. ඒනිසා ඒක කවුරු කෙසේ කිව්වත් ජනතාව දුන්න තීන්දුව අනුව ගන්න සිදුවුණු තීරණයක්.

තංගල්ල - සහම්පති මානගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්