මිහිදුම් සළු ගත දවටාගත් ගිරි ශිඛර අතර සිත අතරමං කරවන ග්රේට් වෙස්ටර්න් කඳු වැටිය

  👤  3554 readers have read this article !
By mawbima 2017-08-22

22-8-17-maw (8).jpg (600×350)

"අපිත් කොහේ හරි යමුද, කාලෙකින් එකට කොහෙවත් ගියෙත් නෑනේ" යනුවෙන් එකකු මුහුණුපොත හරහා විමසා සිටියදී මා සිතින් සිනාසුණේ අප සියල්ලන්ම එක තැනක ඉන්නට බැරි රට වටේ ඇවිදින්නට යන උන් බවට තවත් මිතුරකු කියූ අයුරු සිහිවීමෙනි. ඇසූ පැනයට සියල්ලන්ගේම එකඟතාව ලැබීමට මිනිත්තු පහක්වත් ගත නොවූයේ කොළඹ කලබලකාරී ජීවිතයේ සිරවූ අප ගහකොළ අතර ගෙවන මිතුරු හමුවට එක සේ ආදරය කළ උන් වීම බව මම දනිමි.

ශ්‍රී ලංකාවේ 6 වැනි උසම කඳුවැටිය ලෙස නම් දරා ඇති නුවරඑළිය දිස්ත්‍රික්කයේ බටහිර සීමාවට වන්නට නානුඔය හා තලවාකැලේ නගරයන්ට ආසන්න වශයෙන් පිහිටා ඇති ග්රේට් වෙස්ටර්න් කඳුවැටිය තරණය කිරීම මෙවර අපගේ ගමනේ අරමුණ විය. එක් දින චාරිකාවක් ලෙස සංවිධාන වූ මෙම ගමන සඳහා යොදාගෙන තිබුණේ කලබලකාරී දින පහක ඇවෑමෙන් පසුව එළැඹෙන සෙනසුරාදාවත්ය. ගමනාරම්භක ස්ථානය වූයේ ග්රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානයයි. රදැල්ල සහ වටගොඩ අතර පිහිටා ඇති ග්රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානය ආසන්නයට බස් රියට යෑමට මාර්ගයක් නොවූයෙන් සීතල උදෑසන අපගේ ගමන් මලුද කරපින්නා ගෙන මිහිදුමින් වැසුණු තේ වතු හරහා අපි ඇවිද ගියෙමු.

කඳුකරය පටන් ගන්නා තැන මඟ සලකුණු වූයේ ගස් ගොන්න අතරේ පිහිටියා වූ කෝවිලකි. කෝවිල දක්වා වූ ගමන දුම්රිය මාර්ගය දිගේ ඇවිද යා යුතු වූ බැවින් දුම්රියවලින් ප්‍රවේශම් වන ලෙස අපට මුලදීම අවවාද ලැබී තිබිණි. හොඳින් මැදී දිලිසෙමින් තිබූ රේල් පීලි දෙක හැරෙන්නට දුම්රිය මාර්ගයද තණපත්වලින් වැසී තිබුණේ අප ගමන් ගන්නා මඟ වනයට මිස අපට අයිති නැති බැව් දන්වන්නට යැයි හැඟී යයි. කෝවිල අසල ඇති කුඩා දිය පහරින් ඒ වන විට හිස්ව යමින් තිබූ වතුර බෝතල් අප පුරවා ගත්තේ ගමනේ මඳක් වන තෙක් නැවත බොන්නට වතුර ලබාගන්නට තැනක් අප යන මාර්ගයේ නොවූ නිසාවෙනි. බොන්නට වතුර පුරවා ගන්නා අතරේම මා ගෙන ආ ලුණු බෝතලයට දමා වතුර පුරවා ගත්තේ කූඩැල්ලන්ගේ ප්‍රහාරවලින් ගැලවී සිටින්නට සිතාගෙනය.

මානා පඳුරු ගාලක් අතරින් තිබූ පළමු නැග්ම අවසන් කර බලන විට මා දුටුවේ ඒ තාක් දුරට කූඩැල්ලන්ගෙන් කරදරයක් නොවූවද මානා පඳුරුවලට දෑත් සීරී කැපී ඇති ආකාරයයි. මා පමණක් නොව අපි සියල්ලන්ම පාහේ මානා පඳුරු ආක්‍රමණයෙන් සීරීම් තුවාල ලබා සිටියෙමු. මානා පඳුරු ගාල පසුකරගෙන ඉදිරියට යන විට ලිස්සනසුලු තියුණු නැග්මක් අප ගමන් ගත් මාර්ගයේ විය. ගස් ගල්වල එල්ලී ගමන් ගත් අතරමඟ අප ගෙන ගොස් තිබූ කඹද යොදාගෙන කන්ද නඟින්නට සිදුවූයේ පය ගැසීමට හෝ එල්ලීමට නොහැකි ස්ථානද පසු කරන්නට වීම නිසාවෙනි. ගමනේ දුෂ්කරතාවද ගමනේ සුන්දරත්වයේම කොටසක් ලෙස අපට දැනෙන්නට පටන් ගත්තේ ඒ වන විටද දුෂ්කර මාර්ගයේ ලබා ගන්නා එක් මොහොතක විරාමයකදී අප ඉදිරියේ මැවුණු සොඳුරු දසුනේ චමත්කාරයයි.

ලිස්සනසුලු තියුණු නැග්ම මඳක් අඩු වූ තැන අප ගමන් ගත් මාර්ගය වැටී තිබුණේ කඳු වැටියේ බෑවුම අද්දරටම වන්නටයි. යන්තම් හෝ පය පැකිළීී වැටුණා නම් ගස් මුල්වල වදිමින් සෑහෙන දුරක් පහළට පෙරළී යනු ඇතැයි මට හැඟී ගියේ කිසිදු සැකයකින් තොරවයි. පහළට යෑමේ ඒ කෙටි මාර්ගය යොදා ගන්නට ආසාවක් මා වෙත නොවූ හෙයින් ගමනේ පියවරක් පාසා කල්පනාකාරීව තැබීමට මම උත්සුක වූයෙමි. එකා පසුපස එකා තනි පේළියට ගමන් කරනවා විනා විහිළු තහළු කරමින් කල්ලි ගැසී යන්නට ඉඩක් ඒ මාර්ගයේ නොවිණි. අපට මඟ පෙන්වූ ගමන් සගයා එක්වරම "පහත් වෙන්න" කියා විධාන කරමින් බිම වැටී මුහුණ සඟවා ගන්නා අයුරු දුටු මා සහ ළඟම සිටි මිතුරාද එයම අනුගමනය කරද්දී එක් තත්පරයකට ඉහළ බැලූ මා දුටුවේ මී මැසි සේනාවක් අපට ඉහළින් පියඹා යන අයුරුයි. විනාඩි දෙක තුනක් අප සිටි තැනම පහත් වී සිටියේ මී මැස්සන් නැවත පැමිණේදෝ යන සැකයෙනි. "කට්ටියටම පුළුවන් තරම් සද්ද නොකර එන්න කියන්න, මී මැස්සෝ ඉන්නවා" යන පණිවුඩයත් උනුන් අතරේ බෙදාගනිමින් අප නැවත ගමන ආරම්භ කළේ අපගේ ගමනේ ඉහළම නැවතුම වෙතයි.

ගස් ගල් අතරින් ගිය මාවතේ සුන්දරතම අවසානය වූ කඳු මුදුනට ගිය විටම දැනුණේ අප එතෙක් ආ දුර මහ දුරක් නොවූ ලෙසයි. ගමන් විඩාව කඳු මුදුනේදී ඇඟට දැනුණු සීතල සුළඟේ එතී සැඟව යද්දී පහළින් පෙනෙන දසුනේ සොඳුරු බව මෙන්ම අෑත පෙනෙන සිරිපාදේ කන්දේ නිරාමිස සුන්දරත්වයද මට ඒ මොහොතේ ලබාදුන්නේ ජීවිතයේ එක් වරක් පමණක් ලැබිය හැකි අත්දැකීමක සතුටයි. වචන කළ නොහැකි නැවත වරක් පමණක් ලැබිය නොහැකි සතුටක් පළමු වරට කඳු මුදුනක සිට අවට සිරි නරඹන විට දැනෙන බව මින් පෙර කඳු තරණය කර ලැබූ අත්දැකීම්වලින් මම දැන සිටියෙමි. එකිනෙකට වෙනස් වූ රටා මවන කඳු මිටියාවත්වල පාට හැඩතල විඳින්නට දකින්නට ඒවාට ආදරය කරන්නට පුරුදු වී සිටීමට ඒ ගත කාලය කාලය කිසිදු ලෙසකින් මිල කරන්නට නම් නොහැකිය. මුහුදු මට්ටමේ සිට මීටර් 2215.59ක් වූ ශ්‍රී ලංකාවේ 6 වැනි උසම කඳු මුදුනේ අසිරිය අපි ඒ මොහොතේ අඩු නැතිවම විඳගත්තෙමු.

ඉහළට ගිය මඟ මෙන්ම පහළට ආ මඟද එකම වූයෙන් මේ වන විට මාර්ගයේ ඇති කටුක සොඳුරු බව මම දැන සිටියෙමි. ඉහළට නඟිනවාටත් වඩා පහළට බැසීමේදී ලිස්සනසුලු මඩින් වැසී ගත් මාර්ගයේ තැන් කීපයකම අපට කඹ යොදාගෙන බැසීමට සිදුවූයේ සුළු අත් වැරැදීමකින් හෝ පය ලිස්සා වැටීමේ අවදානම අඩු කරගත යුතු නිසාවෙනි. කෙසේ වුවද කන්ද තරණය කිරීමට ගිය වේලාවට වඩා බොහෝ අඩු කාලයක් ගත කරමින් ඉර බැස යෑමට පැයක් පමණ තිබියදී අපි නිරුපද්‍රිතව ආපසු කෝවිල දක්වා පැමිණියෙමු. දුම්රිය පාලම ආසන්නයේම වූ සීතල දිය පහරක් වෙත අප ඇදුණේ ඇඟ පත පුරා තැවරී තිබූ මඩ මෙන්ම ගමන් විඩාවද සෝදා හරිනු රිසියෙනි. සීතලේ වෙව්ළමින් දිය පහරේ බැසගෙන එකිනෙකා හා විහිළු තහලු කරමින් ගත කළ කාලයද ඉක්මනින් අවසන් කළ යුතු වූවේ අඳුර වැටීමට පෙර අප නැවතත් දුම්රිය ස්ථානය වෙත යා යුතු වූ බැවිනි.

ඉර බැස යන හෝරාවේ දුම්රිය මඟ දිගේ ඇවිදගෙන එන අතරතුර පොද වැස්සක් පටන් ගත්තේ අපට සමුදීමට මෙන් වූවත් මා වරක් හැරී බලන කල දුටුවේ අප පැමිණි ගියද කිසිඳු වෙනසක් නැතිවම බලා සිටින යොධ කඳු පන්තියයි. අතොරක් නැතිව ඇද හැලුණු පොද වැස්සේම අපි මතක ගොන්නක්ද සිත දරාගෙන පිය සටහන් පමණක් ඉතිරි කරමින් ග්රේට් වෙස්ටර්න් කඳු වැටියට සමුදී ඒ සැ¼දෑවේ නික්ම ආවෙමු. තුරු ලිය වෙළුණු ගිරි හිස එතී දැවටුණු දුහුල් මිහිදුම් පිරි ඒ සොඳුරු දසුන් අතරේ සිත අතරමං වනුයේ කිසිවකුටත් නොදැනීමය.

සමින්දි ද සිල්වා
ඡායාරූප - විරේෂාන් විජේසිරි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්