මහාචාර්ය රාජ් සෝමදේවයන් හෙළි කරන අතීත මානවයාගේ ජීවමාන සාක්ෂිය ‘දඩයක්කාරයාගේ සංග්‍රාමය’

  👤  3422 readers have read this article !
By mawbima 2017-08-22

22-8-17-maw (7).jpg (600×350)

මේ සටහන ලියවෙන මොහොත දක්වාම කාලයේ වැලිතලාවෙන් සැඟවී ගිය ශ්‍රී ලාංකේය ප්‍රාග් ඓතිහාසික තොරතුරු රාශියක් ලෝකයා හමුවේ දිග හැරෙමින් පවතී. එහි ආසන්නම සිදුවීම කැලණිය සරසවියේ පුරාවිද්‍යාව පිළිබඳව මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් වැලිගෙපළ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පරගහමඩිත්ත වවුල් ගුහාවෙන් සහ ඊට ආසන්න ඉලුක්කුඹුර ලුණුගල් ගුහාවෙන් මීට වසර පන්දහසත්, හයදහස් පන්සියයත් අතර දඩයමින් ගොවිතැනින් දිවි ගෙවූ මානවයන් පිළිබඳව හෙළිකරනා තොරතුරුයි. මේ වනවිටත් කැණීම් සිදුවන ලුණුගල් ගුහාවේ තොරතුරු පිළිබඳව විමසා බැලීමට 'මව්බිම' අපි එගම්පියසට පිවිසුණෙමු.

මීට වසර 5,000ත් 6,500ත් අතර දිවි ගෙවූ ජනතාව එදා පරිසර සාධක හඳුනාගෙන සිය ජීවිතය ගතකළ ආකාරය පිළිබඳව හෙළිවන තොරතුරු පිළිබඳව සඳහන් කිරීමට පෙර රාජ් සෝමදේව මහතාගේ මේ කැණීම් මාලාවේ පරමාර්ථය සටහන් කළහොත් එය කියවන පාඨකයාට වඩාත් පහසු වනු ඇත.

ලංකාවේ ආදිතම මානවයා පිළිබඳව මුලින්ම ලෝකයාට තොරතුරු හෙළිවූයේද වැලිගෙපළ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ බෙල්ලන්බැඳිපැලැස්සෙනි. ඒ 1957 ආචාර්ය පී.ඊ.පී. දැරණියගල කළ කැණීමක ප්‍රතිඵලයක් ලෙසිනි. කාල නිර්ණය අනුව වසර 12,000ක් පැරැණි බළන්ගොඩ මානවයා නමින් නම් කළ එම දඩයක්කාර මානව පරපුරේ ඉතිහාසය වසර එක් ලක්ෂ විසිපන්දහසක් පමණ පැරැණි යැයි පී.ඊ.පී. දැරණියගල එදා සඳහන් කළේය. එයින් ඇරැඹි බළන්ගොඩ මානව පරපුර ක්‍රි.පූ. 1,800න් අවසන් වී විදේශවලින් පැමිණි යකඩ වැඩකරන්නන් කර්මාන්තකරුවන්, ගොවීන් ඉදිරියේ මුහුණදීමට නොහැකිව නිල්ගල, රතුගල වැනි ප්‍රදේශවල සැඟවුණා යැයි ආචාර්ය දැරණියගල සඳහන් කළේය. ඉන් ඉක්බිති අපගේ මානව පරපුරේ ආරම්භය ලෙස සඳහන් වන්නේ ක්‍රි.පූ. 6 වැනි සියවසේ විජයගේ ආක්‍රමණයෙනි.

එනමුත් ඒ මැද තිබූ වසර 1,200ක් පමණ වූ හිඩැස කෙරෙහි කිසිවකු අවධානය යොමු කර නොතිබිණි. රාම රාවණ, යක්ෂ, නාග වැනි පදනමක් නොමැති කතාවලින් එකී හිඩැස වසා තිබිණි. එනමුත් විජය පැමිණීමට පෙර කුවේණිගේ පරපුර ලංකාවේ ජීවත් විය. බුදුරජාණන් වහන්සේ තෙවරක් සිරිලකට වැඩමවා හෙළයන්ට ධර්මය දේශනා කළ සේක. නමුත් විජයගෙන් ආරම්භ වුණු මහාවංස ඉතිහාසයත් සමඟ එකී කාලය කිසිවකුගේ අවධානයට ලක්නොවුණි. සියලුම කර්මාන්ත සිරිලකට පැමිණියේ විජයගේ ආගමනයත් සමඟ යැයි යන මතය සිරිලක මුල්බැස ගෙන තිබිණි. මේ සියලු කාරණා තිබියදී මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ අවධානය යොමුවූයේ දැරණියගල මහතා විසින් ක්‍රි.පූ. 1,800න් නතර කළ දඩයක්කාරයාගේ අවසානයත්, ක්‍රි.පූ. 6 සියවසේ විජයගේ ආක්‍රමණයත් අතර තිබුණු හිඩැස කෙරෙහිය. 'ලංකාවේ සිටිය දඩයක්කරුවා විදෙස් ආක්‍රමණ හමුවේ පසුබැස්සේ නැහැ. ඔවුන්ම තමයි ගොවියා බවට පරිවර්තනය වූයේ. විජයගේ 700කගේ සේනාවෙන් අපි වෙනස් වූවා නම් ලන්දේසි, පෘතුගීසි, ඉංග්‍රීසි පැමිණෙද්දිත් අපි වෙනස් වෙන්න ඕනිනේ. විදේශීයයන්ගේ පැමිණීම්වලින් අපිට සුළු බලපෑම් වෙන්න ඇති. නමුත් අපේ හෙළයෝ කුරහන් තලප කන එක අතඇරියේ නැහැ වාගේ පසුබැස්සේ නැහැ. එය පදනම් කරගනිමින් 'දඩයක්කාරයාගේ සංග්‍රාමය' නමින් සිය කැණීම් කටයුතු ආරම්භ කළේ මීට වසර අටක පමණ ඉහත සිටය. දඩයක්කාරයා ගොවියා බවට පරිවර්තනය වූයේ එකවරම නොවෙයි. එම පරිවර්තනය සිදූවූයේ තමන් මුහුණ දුන් කාලගුණික දේශගුණික විපර්යාස හමුවේ ක්‍රමක්‍රමයෙනි. එම පරිවර්තනය වූ කලාපය බළන්ගොඩ කලාපය යැයි සිය පුරාවිද්‍යා ඥානයෙන් අවබෝධ කරගෙන මේ පරීක්ෂණ දියත් කෙරිණි.

අද අප කතා කරන පරගහමඩිත්ත වවුල්ගුහාව, ඉලුක්කුඹුර, ලුණුගල් ගේ හා බැඳි තොරතුරු වුවද මේ වනවිට කලාපයේ තවත් ගල්ලෙන් හා එළිමහන් ස්ථාන රැසක කළ කැණීම් තුළින් අතීත දඩයක්කාරයා ගොවියා බවට පරිවර්තන වූ වග පසක් වන තොරතුරු රාශියක්ම කාලනිර්ණ අනුව ලෝකයාට දායාද කර හමාරයි. මේ කැණීම්වලින් සෝමදේව මහතා එම පරිවර්තනය කෙසේ සිදුවූවාද යන කාරණා තවදුරටත් පසක් කරමින් සිටියි. ඒ පිළිබඳව අදහස් දැක්වූ සෝමදේව මහතා මෙසේ කීය.

"මීට අවුරුදු 5,000ත් 6,500ත් අතර මේ ගල් ගෙවල්වල ජීවත් වුණු මිනිසුන් පරිසර සාධක හොඳින් හඳුනාගෙන ජීවත් වණු ජනතාවක්. මේ ඉන්න ලුණුගල්ලෙන සීමාවේ ඉඳල වර්ග කිලෝමීටර් 25ක පමණ ප්‍රදේශයේ ආදි මානවයන් ජීවත් වූ ස්ථාන 18ක් පමණ අපි දැනට හඳුනාගෙන කැණීම් කළා. මේ ගාණ තවත් වැඩි වෙන්න පුළුවන්. එහෙම ගණනය කළාම එක් පුද්ගලයකුට ආහාර ගැනීමට තියෙන සම්පත් ප්‍රමාණය වර්ග කිලෝමීටරයකට සීමා වෙනවා. කාලයක් යනවිට ජනගහනය වැඩිවීමත් එක්ක ආහාර සොයාගැනීමේ පීඩනවලටද මේ අය පත්වෙලා තියනවා. අපිට මේ ලුණුගල් ගුහාවෙනුත් පසුගිය සතියේ කැණීම් කළ වවුල් ගුහාවෙනුත් ළඟ ළඟ සිදුරු 19ක් විදල තියෙන තාරකා වළල්ලක් හමුවුණා. ඒ වගේම තාරකා වළල්ලක් චීනයේ කැණීම් කළ පුරාවිද්‍යාඥයන්ටත් හමුවෙලා තියෙනවා. එම තරු වළල්ල ක්‍රි.පූ. 4,500ක් පමණ පරණයි කියල චීනයේ අය ගණන් බලල තියෙනවා. මේ වාගේ තරු වළල්ලක් සිය ගල්ගුහාවල මීට වසර 6,000කට එපිට අය සලකුණු කරගෙන තියෙන්නේ කාලගුණය බලාගැනීමේ නිර්ණායකයක් ලෙස ආකාසයේ දඩයක්කාරයා (ඔරායන්) තරුවළල්ල හඳුනාගැනීමට. සමකයට ආසන්න උත්තරධ්‍රැවයේ රටවල උෂ්ණ කාලෙදී ආකාශයේ තියෙන දඩයක්කාර තරු වළල්ල දීප්තිමත්ව පේනවා. සීත කාලෙදී ආලෝකයක් නැහැ. මේ ගුහාවල ජීවත් වුණු ජනතාව ඒ තරු වළල්ලේ දීප්තිය බලාගෙන තමයි සිය ධාන්‍ය වගා කටයුතු හා පල නෙළීම් කරගෙන තියෙන්නේ. මොකද මේ ගුහාවල ජීවත් වුණු ජනතාව දඩයම වගේම ගොවිතැනත් කරගෙන තියෙනවා. පිලිස්සී ගිය ධාන්‍ය ඇටවර්ග රාශියක්ම මේ ගුහා තුළින් අපිට හමුවුණා. වල් වී, වල් තල, වල් වට්ටක්කා, වල් කැකිරි, වල් කරවිල වැනි දේවල්. ඒ ශාක වර්ග තාමත් මේ කැලෑවේ තියෙනවා. ඒ වගේම අද තිබෙන කුළුබඩුවලට සමානව වල් කොල්ලු වැනි ශාකත් මෙයාලා පාවිච්චි කරලා තියනවා" මහාචාර්යවරයා පැවැසීය.

ගුහාවෙන් ගුහාවට හමුවන පැරැණි ගල් ආයුධ, ආහාරයට ගත් ධාන්‍ය වර්ග, ශරීර පාට කිරීමට ගන්නා මිනිරන් වර්ග, ගෙල පලඳනා එක හා සමාන ලක්ෂණ පෙන්නුම් කිරීම තුළින් බෙදාහදා ගැනීමේ සංස්කෘතියකුත් තිබී ඇති බව පසක් වන කාරණාවකි. එසේම එදා සිටි කාන්තාවන් සිය රූපලාවණ්‍ය පිළිබඳව උනන්දුවක් දැක්වූ බව ගුහා තුළින් හමුවී ඇති මෙවලම් සාක්ෂි සපයයි.

රාජ් සෝමදේව මහතා කැණීම් කරන වවුල් ගල් ගුහාව, ලුණුගල් ගේ වැනි ස්ථානවලට පහසුවෙන් ළඟා විය හැකි තැන් නොවේ. ඉලුක්කුඹුර, හුනුගල්ලෙන මුහුදු මට්ටමේ සිට මීටර් පන්සියයක් පමණ උසකින් යුතුයි. එයට ළඟාවීමට ඉලුක්කුඹුර මංසන්ධියේ සිට සැතපුම් දෙකක් පමණ පා ගමනින් ගොස් තවත් සැතපුමක් පමණ තේවතු, ගිරිදුර්ග, වනදුර්ග මැදින් පල්ලම් බැස ලී ඉණිමං දිගෙහි තවත් අඩි පනහක් පමණ ජීවිත අවදානමකින් ලුණුගල් ගෙයට ගොඩවිය යුතුයි. රාජ් සෝමදේව මහතා ඇතුළු සිසු පිරිස කැණීම් කරන්නේ ඒ අවදානමද විඳගනිමිනි. පහසුවෙන් ජීවත්වීමට ස්ථාන තිබියදී අතීත මානවයන් මෙබඳු දුෂ්කර ස්ථානයන් සිය වාසභවන ලෙස තෝරාගන්නේ ඇයි දැයි කෙනකුට සිතීමට හැකියි. එයට හේතුව වනුයේ මේ දිනවල සිරිලක පැවැති නියඟයෙන් ගම්දනව්වල ගස් කොළන් වියළී යද්දී මේ කලාපය එකී නියඟයට හොඳින් ඔරොත්තු දී ගස් කොළන් හොඳින් සශ්‍රීකව පැවැතීමයි. මේ පරිසර සාධකද එදා දඩයක්කරුවන් හඳුනාගෙන සිය ජීවිතත් ආරක්ෂා කරගෙන ජීවත්වීමට මෙබඳු ස්ථානයන් තෝරාගන්නට ඇති. රාජ් සෝමදේව මහතාගේ කැණීම් කටයුතු තවදුරටත් මේ ස්ථානවල සිදුවෙමින් පවතී. අතීතයේ සිටි මානව සමූහයාගේ තවත් ජීවමාන සාක්ෂි බොහෝමයක් හෙට දිනයේදී ලෝකය හමුවේ හෙළිදරවු වනු ඇත. මෙම සංචාරය සඳහා 'මව්බිම' අපත් සමඟ ගිය සඳුන් ගුණතිලක සොයුරාට සහ පී.වී. හරිස්චන්ද්‍ර සොහොයුරාට ස්තූතියි.

වැලිගෙපල මැණිකේ කොලොම්බුුගම

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්