විජයදාස රාජපක්ෂ ඇමැතිකමෙන් ඉවත් කළොත් ආණ්ඩුවේ ලිච්ඡවි පාලනයක් නැහැ

  👤  3454 readers have read this article !
By mawbima 2017-08-22

උදයන්ති මුණසිංහ

විජයදාස රාජපක්ෂ අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ හොත් වත්මන් ආණ්ඩුව ගෙන යන්නේ ලිච්ඡවි පාලනයක් නොවන බවත් ලිච්ඡවි පාලනය යනු කුමක්දැයි නවක මන්ත්‍රිවරුන්ට ඉගැන්වීම ආණ්ඩුවේ වගකීමක් බවත්, යාපාපටුන ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී අරියකිත්ති හිමියෝ පවසති. ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ස්වාමීන් වහන්සේ පිරිසක් විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාට ආශීර්වාද කිරීම සඳහා ඊයේ (21දා) බුද්ධශාසන අමාත්‍යාංශයට වැඩම කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ අරියකිත්ති හිමියෝ,
මුළු ලංකාවේම සියලුම ස්වාමින් වහන්සේලා බලාපොරොත්තු වෙන්නේ විජයදාස රාජපක්ෂ මහතා බුද්ධශාසන සහ අධිකරණ අමාත්‍ය ධුරයේම වැඩකටයුතු කරන එක. මොකද එතුමා බුද්ධ ශාසනය වෙනුවෙන් විශාල කාර්ය භාරයක් සිද්ධ කරපු පුද්ගලයෙක්. ඒ වගේම මහා සංඝරත්නය වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදුකරලා තියෙනවා.

උතුරු පළාතේ යාපනයේ විහාරස්ථාන වෙනුවෙන් මෙතුමා විශාල සේවයක් බොහොම සැලකිල්ලෙන් සිද්ධ කළා. ඒ වගේම තමයි උතුරු පළාතේ, නැඟෙනහිර පළාතේ විහාරස්ථානවලට යම් යම් තර්ජන එල්ල වුණා. එතකොට මෙතුමා මැදිහත් වෙලා ඒ සම්බන්ධයෙන් නීතිමය පියවරයන් අරගෙන කටයුතු කළා. විජයදාස අමාත්‍යතුමාව මේ ධුරයේ තවදුරටත් තියලා රටට සේවය කරන්න ජනාධිපති, අගමැති තීරණයක් ගනී කියලා අපි හිතනවා. ඒ වගේම තමයි උතුරු පළාතේ ස්වාමින් වහන්සේ කෙනෙක් විදියට මම කැමැතියි, අධිකරණ අමාත්‍ය ධුරය විජයදාස ඇමැතිවරයා යටතේම තියෙනවා නම්. මොකද එතුමාට නීතිය පිළිබඳව හසළ දැනුමක් තිබෙන පුද්ගලයෙක්. ජේ‍යෂ්ඨ ඇමැතිවරයෙක් වශයෙන් එතුමාම තමයි මේ අමාත්‍ය ධුරයට යෝග්‍ය කියලා අපි කියනවා. උතුරු පළාතේ වෙහෙර විහාරස්ථානවලදී ගැටලු ඇති වුණාහම එතුමාගේ බුද්ධිය සහ දැනීමත් එක්ක ඒ වෙහෙර විහාරස්ථානවල පැනනැඟුණ ගැටලු අපිට නිරාකරණය කර ගන්න පුළුවන් වුණා. එතුමාම තමයි මේ අමාත්‍ය ධුරයට සුදුසු පුද්ගලයා. එක එක්කෙනාට ඕන ඕන විදිහට අමාත්‍ය ධුර වෙනස් කරලා ඔවුන්ට ඕන අයව පත් කරගෙන ඔවුන්ට ඕන දේ ඉටුකර ගන්න බලාපොරොත්තු වෙනවා නම් අපි ඒකට කැමති නැහැ. අපේ බලාපොරොත්තුව මේ රට වෙනුවෙන් වැඩකරන කෙනෙක් ඒ සඳහා පත් කරවන්න. පෞද්ගලික කාරණා අපිට අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය මේ රට.
මෙහිදී අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් ශාසන සංගමයේ ලේඛකාධිකාරි කිතලගම හේමසාර හිමි. අද දවසේ විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා සම්බන්ධයෙන් වැදගත් දෙයක් සිද්ධ වෙනවා කියලා අපි මාධ්‍යයෙන් දැක්කා. ඉතිං අපි එතුමාට සෙත් පිරිත් සජ්ජායනා කරන්න උදෑසනම මෙතනට වැඩම කළා. එතුමා ටිකක් රෝගාතුරව ඉන්නවා කියලා අපිට දැනගන්න ලැබුණා.

දේශාපාලනඥයන්ගෙ කටයුතු ගැන අපිට කිසිම වගකීමක් හෝ අපේ කිසිම දැනීමක් නැහැ. විජයදාස රාජපක්ෂට අසාධාරණයක් නොවන විදියට ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් කටයුතු කරයි කියන විශ්වාසය අපිට තිබෙනවා.

එතුමාට සිද්ධ වෙන්න යන දේ සම්බන්ධයෙන් අපි මොනවාත් දන්නේ නැහැ. විජයදාස ඇමැතිවරයා ඕනිම දේකට සුදුසුයි. ඕනිම අමාත්‍යාංශයකට එතුමා සුදුසුයි. එතුමා දක්ෂයෙක්. එතුමා හොඳ බෞද්ධයෙක්. බුද්ධශාසන අමාත්‍යාංශය එතුමා යටතේ තිබිය යුතුයි. එතුමාට ආගම ධර්මය පිළිබඳව, විහාරස්ථාන පිළිබඳව හොඳ අවබෝධයක්, දැනුමක් තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ විහාරස්ථානවලට එතුමා විශේෂ සේවයක් කරපු කෙනෙක්. ඒ වගේම එතුමා ලංකාවේ විහාරස්ථානවල සියලුම ස්වාමින් වහන්සේ ගැන හොයපු කෙනෙක්.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්