නිදාගෙන සිටි තොටිල්ල ගිනි ගැනීමෙන් සිඟිත්තියට බරපතළ තුවාල

  👤  3485 readers have read this article !
By mawbima 2017-08-22

නෝර්වුඩ් - රිද්මි මිලින්දිකා

බගවන්තලාව පොලිස් වසමට අයත් ලින්ස්ටඩ් වතුයායේ පහළ කොටසේ වතු නිවාස පෙළක ජීවත් වූ වතු කම්කරු පවුලකට අයත් මාස දෙකක් වයසැති සිඟිත්තියක් තොටිල්ලේ නිදාගෙන සිටියදී තොටිල්ල ගිනි ගැනීමෙන් බරපතළ ලෙස පිලිස්සී තුවාල ලබා බගවන්තලාව රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇයගේ තත්ත්වය බරපතළ නිසා එම සිඟිත්තියව මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවූ බව බගවන්තලාව පොලිසිය පවසයි.

පෙරේදා (20දා) පස්වරු 6.15 ට පමණ තම මව විසින් ඉටි මලු වලින් සකස් කරන ලද අනාරක්ෂිත තොටිල්ලේ සිය සිඟිත්තිය නිදි කරවා නිවෙසින් මඳක් බැහැරව සිටින අවස්ථාවේ නිවසේ ළිප ආසන්නයේම සවිකර තිබූ තොටිල්ල ගිනි ගැනීමෙන් මේ අනතුර සිදුව ඇති බවයි අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන බගවන්තලාව පොලිසිය පැවසුවේ.

අනතුරින් තුවාල ලබා ඇත්තේ අනූෂා කුමාරි නමැති සිඟිත්තියයි. තොටිල්ල ගිනි ගන්නා අවස්ථාවේ එය ආසන්නයේ කිසිවකු නොසිට ඇති බවත් පසුව මව නිවෙසට පැමිණෙන අවස්ථාවේ ගිනි ගනිමින් තිබූ තොටිල්ලෙන් බරපතළ පිලිස්සුම් සහිතව සිටි සිඟිත්තිය බගවන්තලාව රෝහල වෙත රැගෙනවිත් ඇති බව එම සිඟිත්තියගේ මව බගවන්තලාව පොලිසිට පවසා ඇත.

අනතුර පිළිබඳ බගවන්තලාව පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්