ක්‍රිකට් ශූර රොෂාන් මහනාමගෙන් වවුනියාවේ දුෂ්කර ගමකට එළියක්

  👤  3552 readers have read this article !
By mawbima 2017-08-22

මුලතිව් - ශෂිකුමාර් සහ ශේෂලා අමරසිංහ

හිටපු ක්‍රිකට් ශූරයකු හා වත්මන් අන්තර්ජාතික තරග තීරකයකු වන රොෂාන් මහනාම මහතා විසින් වවුනියාව - වෙහෙරතැන්න ගම්මානයේ ඉදිකළ පාසලට එම දරුවන්ගේ ආගමික වතාවත් වෙනුවෙන් ඉදි වූ බුදු මැඳුර විවෘත කිරීමේ අවස්ථාවට එතුමා සහභාගී විය.
වන්නි ආරක්ෂක ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතාගේ උපදෙස් මත වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් සේනාංකවල ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද මේ බුදු මැඳුරට මූල්‍ය දායකත්වයක් ලබාදෙනු ලැබුවේ බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ නායක හිමියන් වන ත්‍රිකුණාමලයේ ආනන්ද මහ නාහිමියන් හා එම විහාරස්ථානයේ ශාසනික සේවිකා සමිතිය විසින්ය.

මීට පෙර වෙහෙරතැන්න ගම්මානයේ ඉදිවූ ප්‍රාථමික පාසලට රොෂාන් මහනාම මහතා විසින් මූල්‍ය දායකත්වය ලබාදුන් අතර පාසලට නම තැබුණේද රොෂාන් මහානාම ප්‍රාථමික පාසල වශයෙනි.

බුදු මැඳුර විවෘත කිරීමෙන් පසුව ගම්මානයේ වැසියන්ට වියළි සලාක බඩු මලුද දරුවන්ට අධ්‍යාපනික උපකරණද රොෂාන් මහානාම මහතා අතින් ලබා දෙනු ලැබීය.
ඊට අමතරව පාසලට අවශ්‍ය පානීය ජලය වෙනුවෙන් නළ ළිඳක් හා පුස්තකාලයට අවශ්‍ය පොත්පත් ලබාදීමද සිදු වූයේ කැන්ඩිලා එඩ්ස් ආයතනයේ රාජිත ප්‍රනාන්දු මහතා විසිනි.

ඊට අමතරව වෙහෙරතැන්න ගම්මානයේ පදිංචි අයකුට ස්ථීර නිවෙසක්ද ප්‍රදානය කෙරුණේ විදෙස් දානපතියකුගේ ආධාර මඟිනි. මේ සියලු ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබුවේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 56 සේනාංකයේ 19 වැනි ගජබා රෙජිමේන්තුව, 62 වැනි සේනාංකයේ 26 වැනි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසිනි.
මේ උත්සව අවස්ථාවන් සඳහා බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ නායක හිමියන් වන ත්‍රිකුණාමලයේ ආනන්ද මහා නායක එම විහාරස්ථානයේ ශාසනික සේවිකා සමිතියේ උපාසිකාවන් හා 62 සේනාංකයේ හා 662 හා 563 බලසේනාධිපතිවරුන් ඇතුළු පාසල් දරු දැරියෝ හා මවුපියෝ සහභාගි වී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්