සැප්තැම්බර් 1 තහනමට එරෙහිව පොලිතින් නිෂ්පාදකයෝ පාරට බසිති

  👤  3405 readers have read this article !
By mawbima 2017-08-22

උපතිස්ස පෙරේරා

දෛනික අවශ්‍යතාව වූ ලන්ච්ෂීට් කෝටි 2ක් සඳහා විකල්පයක් ලබා නොදීම පොලිතින් ප්‍රතිචක්‍රියකරණ සහ නිෂ්පාදන ක්‍ෂේත්‍රය ජීවනෝපාය කරගත් ලක්‍ෂ තුනක් පමණ පිරිස සම්බන්ධයෙන් විධිමත් ක්‍රියා පිළිවෙතක් හඳුන්වා නොදීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් පොලිතින් ප්‍රතිචක්‍රියකරණ සහ නිෂ්පාදකයන්ගේ සංගමය ඊයේ (21දා) පස්වරුවේ පිටකොටුව පීපල්ස් පාක් වෙළෙඳ සංකීර්ණය අබියසදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වනු ලැබීය.

එහිදී මාධ්‍යයට කරුණු දැක්වූ එම සංගමයේ සභාපති අනුර විජේතුංග මහතා වසර 40ක් පුරා ඉතා පුළුල් මට්ටමින් පැවැත එන පොලිතින් කර්මාන්තයේ දේශීය ඇසුරුම් ක්‍ෂේත්‍රයේ අත්‍යවශ්‍ය අංගයක් වී ඇතැයි ද මහා පරිමාණ කර්මාන්තකරුවන් 1,000ක් නිෂ්පාදකයන් 50,000ක් ක්‍ෂේත්‍රයේ රැකියාවල නියුතු වූවන් ලක්‍ෂ 3ක්, යැපෙන්නන් ලක්‍ෂ 10ක් සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් හඳුන්වා නොදී දින 45ක් වැනි කෙටි කාලයකින් පොලිතින් නිෂ්පාදනය, විකිණීම, බෙදා හැරීම, ගබඩා කිරීම හා භාවිතය තහනම් කිරීම බලවත් අසාධාරණයක් බවයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැනුවත් කිරීම ස¼දහා අවස්ථාවක් ලබා ගැනීමට පසුගිය මාස 6 තුළ තම සංගමය දැරූ උත්සාහය ව්‍යවර්ථ වූ බවත්, රුපියල් ලක්‍ෂ ගණන් බැංකු ණය ලබාගෙන මිලදී ගත් යන්ත්‍ර සූත්‍රවලට සහ රැකියා අහිමි වන සේවකයන්ට වන්දි ගෙවීම බලවත් ප්‍රශ්නයක්ව ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

දිරන පොලිතින් නිෂ්පාදනය සඳහා ප්‍රමිති ආයතනයේ අනුමැතිය තම ආයතනය විසින් ඉල්ලා සිටියද ඊට මේ දක්වා යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද විජේතුංග මහතා සඳහන් කළේය.

තම ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙන තෙක් සැප්තැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත පොලිතින් තහනම තාවකාලිකව අත්හිටුවන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් භාරදීමට සංගමය පියවර ගන්නා බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්