රසායන විද්‍යා ප්‍රශ්න පිට කරලා තියෙන්නෙ විභාගය තියෙන වෙලාවෙදිමයි

  👤  3651 readers have read this article !
By mawbima 2017-08-22

දයා පෙරේරා

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) රසායන විද්‍යාව ධ්ධ් ප්‍රශ්න පත්‍රයට ඇතුළත් ප්‍රශ්න කිහිපයක් පිටකර ඇත්තේ විභාගය පැවැත්වෙන කාල සීමාවේදීම බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

ගම්පහ ප්‍රදේශයේ ටියුෂන් පන්ති ගුරුවරයකු යැයි පැවසූ පුද්ගලයකු විසින් බෙදාහරින ලද අත්පත්‍රිකාවේ අඩංගු උසස් පෙළ රසායන විද්‍යාව ධ්ධ් ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් ප්‍රශ්න සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් එසේ පවසයි.

විභාගය පැවැති දින උදෑසන විභාගය ආරම්භ වූ පසු විභාග ශාලාවේ සිටි පුද්ගලයකු මඟින් ප්‍රශ්න පත්‍රයෙන් ප්‍රශ්න කිහිපයක් ලබාගෙන ඉන් අනතුරුව තවත් පුද්ගලයන් දෙදෙනකු සම්බන්ධ කරගෙන සැලසුම් සහගතව සකස් කරගත් අදාළ ප්‍රශ්නද ඇතුළත් කර අත්පත්‍රිකාව විභාගය පවතින ශාලා සීමාවේදීව මුද්‍රණය කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ සිද්ධියට සම්බන්ධ වූවන්ට තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් පොලිසියට උපදෙස් ලබාදී ඇත.
මේ ප්‍රශ්න පිට කිරීම තම පටු ලාභ අරමුණු වෙනුවෙන් දරුවන් මෙන්ම විභාග දෙපාර්තමේන්තුවද අපහසුතාවට පත්කරන්නක් බව පවසන අධ්‍යාපන ඇමැතිවරයා එවැනි ක්‍රියා පිළිකුලෙන් යුතුව හෙළාදකින බවද ප්‍රකාශ කර තිබේ.

රසායනික විද්‍යාව ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර පවසන බවත් විභාගයේ විශ්වසනීයත්වය ගැන ගැටලු ඇතිකර ගත යුතු නැතැයි හෙතෙම කියන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්