පොලිසියට වෙඩි තබා පලායන්න තැත්කළ ‘වැඩකාරයෙක්’ ගිනිඅවි සමඟ දැලේ

  👤  3506 readers have read this article !
By mawbima 2017-08-21

කොළඹ - එම්. සී. පෙරේරා

හඳපාන්ගොඩ ප්‍රදේශයේ කාමර කුලියට ලබාදෙන ස්ථානයක් වැටලීමට ගිය පොලිස් විශේෂ කාර්ය බළකා මෙහෙයුම් අංශයේ නිලධාරීන්ට වෙඩි තබා පලායෑමට උත්සාහ කළ එහි හිමිකරු ගිනි අවි, තියුණු ආයුධ හා උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම පුද්ගලයා සමග මිලිමීටර් නවය වර්ගයේ රිවෝල්වරයක් සමඟ ගිනි අවිවලට යොදන උණ්ඩ හතරක්, බෝර 12 ගිනි අවියක්, උණ්ඩයක් හා මිලිමීටර් අට වර්ගයේ මයිකේ‍රා් පිස්තෝලවලට යොදන උණ්ඩයක් හා කඩු දෙකක් පොලිසිය භාරයට ගෙන ඇත.

ඉකුත් කාල සීමාවේදී ඉංගිරිය ප්‍රදේශයේ සිදු වූ අපරාධ කිහිපයකට සම්බන්ධ වූ කල්ලියක් සමඟ සබඳතා පවත් වන පුද්ගලයකු හඳපාන්ගොඩ ප්‍රදේශයේ කාමර කුලියට ලබාදෙන ස්ථානයක් පවත්වාගෙන යන බවට හා ඔහු විවිධ ප්‍රදේශවල අපරාධකරුවන් සමඟ දැඩි මිතුරු සමාගමක් පවත්වාගෙන යමින් ආයුධ හුවමාරු කර ගන්නා බවට පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථාන කඳවුරේ මෙහෙයුම් අංශයට තොරතුරක් ලැබී තිබිණි.

ඒ අනුව ඉතාමත් රහසිගතව ඒ පිළිබඳව සොයා බැලූ විශේෂ කාර්ය බළකා නිලධාරීන් ලද එම තොරතුර සාර්ථක තොරතුරක් බවට අනාවරණය කර ගැනීමෙන් අනතුරුව ඉකුත් 17 වැනිදා රාත්‍රි 11ට පමණ කාමර කුලියට ලබාදෙන එම ස්ථානය වටකර පොලිස් නිලධාරීන් දෙදෙනකු ඊට ඇතුළුවීමට ඒ දෙසට යනවාත් සමඟ සැකකාර හිමිකරු ඔහුගේ ඉණෙහි සඟවාගෙන සිටි ගිනි අවිය ගැනීමට උත්සාහ දැරීමේදී අවට සැඟවී සිටි නිලධාරීන් කඩා වැදී සැකකරු මෙල්ල කර ඔහු සන්තකයේ තිබූ ගිනි අවිය පොලිස් භාරයට ගෙන ඇත.

අනතුරුව එම ස්ථානයේ පුරා පැයකට අධික කාලයක් සිදුකළ සෝදිසි මෙහෙයුමේදී සැකකරු නවාතැන් ගන්නා නිදන කාමරයේ ඇඳෙහි මෙට්ටය යට සඟවා තිබූ කඩු දෙකක්, උණ්ඩයක් සහිත ගල්කටස් වර්ගයේ බෝර 12 ගිනි අවියක්, මිලිමීටර් අට වර්ගයේ උණ්ඩයක් පොලිසිය මඟින් සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුට පෙර විශේෂ කාර්ය බළකා නිලධාරීන් ක්‍රියාත්මක නොවන්නට පොලිස් නිලධාරීන්ට වෙඩි තබා සැකකරු පලායෑමට බොහෝදුරට ඉඩ තිබූ බව පොලිසිය කියයි.

සැකකරු ඉණෙහි සඟවා ගෙන සිටි ගිනි අවියට උණ්ඩ දමා ඕනෑම මොහොතක ක්‍රියාත්මක කිරීමට හැකි ලෙස සූදානම් කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සැකකරුගේ ව්‍යාපාරික ස්ථානයේ තිබී සොයා ගත් මයිකේ‍රා් පිස්තෝලවලට දමන උණ්ඩය අනුව එවැනි ගිනි අවියක් ඇති බවට වූ සැකයෙන් එය සොයා දැඩි සෝදිසි මෙහෙයුමක් කළද එය සොයා ගැනීමට නොහැකි වී ඇතැයි පොලිස් නිලධාරියෝ වැඩිදුරටත් පැවැසූහ.

සැකකරු ඉකුත් කාලයේදී ඉංගිරිය හා අවට ප්‍රදේශවල වෙඩි තැබීම්වලට සෘජුව සම්බන්ධ වූවා දැයි සොයා බලන බව පොලිසිය කියයි.
සැකකරු වැඩිදුර පරීක්ෂණ හා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත භාරදී ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානී අණදෙන නිලධාරි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ පරීක්ෂණ පැවැත්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්