වන අලි ගහනයට අලකලංචියක්

  👤  3345 readers have read this article !
By mawbima 2017-08-13

ලංකාවේ වෙසෙන පිරිමි වන අලි අතරින් සැලකිය යුතු සංඛ්‍යාවක් ඇසක් හෝ ඇස් දෙකම නොපෙනෙන අඳ සතුන් බව පසුගියදා ඒ පිළිබඳව සොයා බැලීමක් සිදු කළ වනජිවී සංරක්ෂණ
දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අනාවරණය කර තිබේ.

ඒ අතරම පිරිමි වන අලින්ගෙන් විශාල සංඛ්‍යාවක් බිහිරි සතුන් බවද හෙළි වී තිබේ.
මෙම සතුන් උපතින් අන්ධයන් හෝ බිහිරන් නොවේ. බිහිරි හෝ අඳ අලි පැටවුන් උපදින්නේ නැති තරම්ය. එවැනි පැටවකු ඉපදුණත් උපදින්නේ ඉතාමත් කලාතුරකිනි. එමෙන්ම ආබාධිත පැටවකු බිහිවුවත් පරිසරික තත්ත්වයන්ට මුහුණ දීමට නොහැකි වීම හේතුවෙන් කුඩා වයසේදීම ජීවිතක්ෂයට පත්වේ.

එසේ නම් වැඩිහිටි පිරිමි වන අලින්ගෙන් විශාල සංඛ්‍යාවක් අඳ බිහිරි සතුන් බවට පත්වන්නේ කෙසේදැයි විමසා බැලිය යුතු කරුණකි. මෙම අඳ බිහිරි සතුන් සිරුරේ ප්‍රමාණයෙන් සද්දන්ත නිරෝගී සෞඛ්‍ය තත්ත්වයකින් පසුවූ අලි ඇතුන්ය. මොවුන් අඳ හෝ බිහිරි බවට පත්වී ඇත්තේ මානව ක්‍රියාකාරකම් නිසා බව ඒ ගැන සොයා බැලූ වනජීවී නිලධාරියා සඳහන් කළේය.

ලංකාවේ වන ගහනය ශීඝ්‍රයෙන් අඩුවෙමින් තිබේ. අලුත් වගා බිම් සහ නව ජනපදකරණය සඳහාත් මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙනුත් වනාන්තර එළිපෙහෙළි කිරීම නිසා විශාල භූමි ප්‍රදේශයක සැරිසරන වන අලින්ට සිය වාසස්ථාන අහිමිවී ඇති අතරම ආහාර සොයා ගැනීම සඳහාද සටනක නිරත වීමට සිදුවී තිබේ.

මහ වනය එළිපෙහෙළි වීමත්, අලිමංකඩ අවහිර වීමත් ආහාර හිඟවීමත් නිසා වන අලි ගම් වදිති. වැඩිහිටි පිරිමි අලි දිවි ගෙවන්නේ රංචුවලින් පිටස්තරව තනි තනිවය. නැතිනම් දෙතුන් දෙනා බැගින් වූ කුඩා කණ්ඩායම් වශයෙනි. ගම්මානවලට සහ කෙත් වතුවලට කඩා වැදී බවබෝග කාදමන්නේ මෙලෙස ජීවත්වෙන පිරිමි අලින්ය.

රංචු වශයෙන් ගැවසෙන්නේ නැතහොත් අලි රංචුවල සිටින්නේ ගැහැනු සතුන් සහ ගැහැනු සහ පිරිමි පැටවුන්ය. ගම්මාන සහ කුඹුරුවලට පනින අලින්ට විවිධ අනතුරුවලට මුහුණදීමට සිදුවේ. එබැවින් අලි රංචු පැටවුන්ද ආරක්ෂා කර ගනිමින් වනයේ දිවි ගෙවන අතර උන් පිරිමි සතුන් මෙන් වගා බිම්වලට කඩා වැදී බෝග ආහාරයට ගැනීමට පෙලඹෙන්නේ නැත.

ආහාර සොයමින් අලි ගම්වලට පැමිණෙන්නේ රාත්‍රි කාලයේදීය. අලි ගම් වදින ප්‍රදේශවල හේන් සහ කුඹුරු කරන ගොවීහු වපුරා අස්වැන්න නෙළන තුරුම පැල් රකිති. අලියෙක් කුඹුරකට පැමිණියහොත් ගොවියාට සිදු වන්නේ වහ බොන්නටය. කෑ ගැහුවත් අලි වෙඩි දැම්මත් නොසැලෙන අලි එළවා දැමීමට වෙඩි තැබීම හැර වෙනත් විකල්පයක් නැතැයි ගොවීහු කල්පනා කරති. දුර සිට විදුලි පන්දම එල්ල කරද්දී දිලිසෙන දෙනෙත් වගා රකින්නාගේ ඉලක්කය වේ.

මේ ගොවීන් සතුව ඇත්තේ බොහෝ විටම මූනිස්සම් බෝල රැසක් යොදා ගිනි බිඳිනු ලබන කොටන තුවක්කුය. මෙවැනි අවියකින් දුර සිට තබන වෙඩි පහරක් හිසට වැදුණ ද එය අලියකුගේ හිස් කබලද පසාරු කරමින් මොළයට හානියක් ගෙන දීමට හෝ මරණීය තුවාලයක් සිදු කිරීමට තරම් ප්‍රබල නොවේ. නමුත් අඳුරේම ඇස් ඉලක්ක කර ගනිමින් එල්ල වෙන එවැනි වෙඩි පහරවල් නිසා දෙනෙත් අන්ධ වූ අලි ඇතුන් බොහෝය. තවද ගම්වදින වල් අලි එළවීම සඳහා වනජීවී නිලධාරීන් විසින් රිපීටර් වර්ගයේ ගිනි අවි යොදා ගනිමින් ඉවක් බවක් නැතිව සිදු කරන වෙඩි තැබීම් නිසාද වන අලින්ගේ දෙනෙත් තුවාල වී පසුව අන්ධභාවයට පත් වේ.

මේ තනි අලි කෙතරම් චණ්ඩි වුවත් දෙනෙතෙහි පෙනීම අහිමි වූ කල අන්ත අසරණයන් බවට පත්වේ. කැලයේ සිටින අලි ප්‍රදේශයෙන් ප්‍රදේශයට මාරු වෙමින් ජීවත් වෙන සංක්‍රමණික සත්ත්ව විශේෂයකි.

උන් ගිරි දුර්ග කඳු හෙල් පවා තරණය කරයි. නමුත් පෙනීම අහිමි වූ සද්දන්තයන්ට ඔවුන්ට රිසි සේ ඔබ මොබ ඇවිදිමින් ආහාර සහ ජලය සොයා යෑමට ඇති හැකියාව අහිමි වේ. එවිට සිදු වන්නේ උන් දිගින් දිගටම ගම්මාන ආශි්‍රතව රැඳී සිටිමින් ගොවි බිම්වලින්ම ආහාර සපයා ගැනීමට නැඹුරුවීමයි. මෙහිදී අඳ අලි ඇතුන් පැල් රකින්නන්ගේ වෙඩි ප්‍රහාරවලට අඛණ්ඩව ගොදුරු වී අවසානයේදී මරණයට පත් වන අවස්ථාද ඇත.

ආහාර සොයා යෑමේදී පෙනීම නොමැති නිසා අනතුරුවලට ලක්වී අලි මිය ගිය අවස්ථා එමටය. කතරගම ප්‍රදේශයේ කළුගල් කොරියකට අඩි 50ක් පමණ උසක සිට ඇද වැටීමෙන් පාද උකුල් ඇට සහ ඉළඇට බිඳී දරුණු ලෙස තුවාල ලැබූ අඳ පිරිමි අලියකු මියගිය ආකාරය තවමත් අපගේ මතකයේ රැඳී තිබේ. පෙනීම නොමැති අලි වගා ළිංවලට වැටී මියයන අවස්ථාද බොහෝය. මීට වසර 6කට පමණ පෙරදී ගල්ගමුවේ දළ පූට්ටුවා නමින් ප්‍රකට දෙනෙත් අඳ සද්දන්ත ඇතා පාර වැරදීමෙන් මහ මාර්ගයට පිවිස රථවාහන 50කට පමණ පහරදී මහ විනාශයක් සිදු කළ ආකාරයද රටේ ජනතාවට අමතක විය නොහැකිය.

අලි ඇතුන්ගේ දෘෂ්ටියට වඩා ශ්‍රවණය ඉතා ප්‍රබලය. අපට නොඇසෙන ශබ්ද තරංග පරාසයක් උන් සතුව තිබේ. කෙටි තරංග ඔස්සේ පණිවුඩ හුවමාරු කර ගනිමින් අලියකුට උෟට කිලෝමීටර් පහක් පමණ දුරකින් සිටින තවත් අලියකු සමඟ අදහස් හුවමාරු කර ගත හැකි බව ඒ සම්බන්ධව සිදු කර ඇති පර්යේෂණවලින් හෙළිවී ඇත.
වගාවට, හේනට හෝ ගෙවත්තට පැමිණෙන අලි එළවීමට අලි වෙඩි ගැසීමට ගැමියෝ පුරුදුව සිටිති. හෙණ හ¾ඩින් පුපුරා යන අලි වෙඩි නිසා අලින්ගේ ඉතා සියුම් ශ්‍රවණ ඉන්ද්‍රියේ කොටස් හානියට පත්වේ. වෙඩි දමනවාට අලි කැමැති නැත්තේ එය උන්ට පීඩාවක් බැවිනි.

වගාවන් කා දැමීමට පැමිණෙන ඇතැම් වන අලින්ට කෑගැහුවත් අලි වෙඩි දැම්මත් පලක් නැති බව ඇතැම්හු සඳහන් කරති. අලියාගේ බඩ යටට දමා වෙඩිල්ල පත්තු කළත් සද්දන්තයාට එය වගේ වගක් නැති ගාණට හැසිරෙන බව ගොවීහු සඳහන් කරති. අලි වෙඩි පත්තු කිරීම නිසා කන් බෙර තුවාලවී බිහිරි බවට පත්වූ අලි එළවීමට වෙනත් පත්තු කිරීමට දෙයක් නොමැත.

ලංකාවේ අලි ගහනය පිළිබඳව සිදුකළ අධ්‍යයනයන්වලදී හෙළිවී ඇත්තේ අපේ රටේ සිටින ගැහැනු අලි ගහනයට වඩා පිරිමි අලි ගහනය බෙහෙවින්ම අඩු අගයක පවතින බවයිි. විවිධ වූ අනතුරු හේතුවෙන් වසරකට වන අලි 250ක් පමණ මියයන අතර ඉන් 200කට ආසන්න සංඛ්‍යාවක් මියයන්නේ පිරිමි අලින්ය.

වගා දේපළ, ජීවිත හානි කරමින් ප්‍රචණ්ඩකාරීව හැසිරෙන වන අලි අල්ලා හොරොව්පොතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට ගෙන ගොස් මුදාහැරීමට වනජීවී නිලධාරීහු කටයුතු කරති. මෙලෙස අල්ලා ගෙන ගොස් දමන ලද අලි ඇතුන්ගෙන්ද විශාල සංඛ්‍යාවක් අඳ සහ බිහිරි සතුන්ය. වසරකට පිරිමි අලි දෙසීයක් පමණ මියයෑමත් තවත් කොටසක් අඳ සහ බීරි සතුන් බවට පත්වීමත්් රටේ ඉදිරි අලි ගහනය කෙරෙහි ඉතා අහිතකර ලෙසින් බලපානු ඇතැයි සැකයකින් තොරවම පැවසිය හැකිය.

සපුමල් ජයසේන

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්