පුසුල්පිටිය රජමහ විහාරය නිදන් හොරු නසා වනසති

  👤  3204 readers have read this article !
By mawbima 2017-08-13

සියවස් විස්සකටත් වැඩි දිගු ඉතිහාසයකට උරුමයක් කියාපාන පුසුල්පිටිය රජමහා විහාරය කොත්මල්වාසී ජනතාවගේ ඉමහත් ගෞරවයට ලක්වූ බෞද්ධාගමික පුදබිමකි. වසර 2300කට අධික කාලයක් තිස්සේ ආගමික, සංස්කෘතික හා දේශපාලන වශයෙන් වැදගත් වූ ඓතිහාසික ස්ථානයක්ද වේ. එම කාලය තුළ කොත්මලේ ජනතාව ස්වකීය ආධ්‍යාත්මික සංවර්ධනයත්, සදාචාරාත්මක හා සංස්කෘතික හැඩගැස්මත් ඇති කර ගත්තේ පුසුල්පිටිය විහාරය ඇසුරෙන් බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි.

ප්‍රදේශවාසීන්ට මෙවැනි ආධ්‍යාත්මික සුවයක් ලබා ගැනීමට උපකාරී වූයේ විහාරස්ථානයේ වසර දහස් ගණනක් සුරක්‍ෂිතව පැවැති පූජනීය වස්තූන් යැයි පැවැසුවොත් එය නිවැරැදිය. එම පූජනීය වස්තූන් සොරකම් කිරීම, කඩාබි¼ද දමා හානියට පත්කිරීම වැනි සොර සතුරු උපද්‍රව කිහිපයක් මෑත කාලයේ දී සිදුවීම සැබැවින්ම කනගාටුවට කරුණකි. ඉකුත් අගෝස්තු 03දා රාත්‍රියේ විහාරස්ථානයට පැමිණි සොරුන් කිහිප දෙනකු සිදුකර තිබෙන්නේ එවැනි බරපතළ හානියකි.

මේ පිළිබඳව තොරතුරු සොයා බැලීමට විහාරස්ථානයට ගිය අවස්ථාවේ දැක ගන්නට ලැබුණේ අගෝස්තු 03දා රාත්‍රියේ 9.00ට පමණ පැමිණි සොරුන් කිහිප දෙනකු පැය කිහිපයක්ම විහාර භූමියේ පිහිටි චෛත්‍යයේ නිදන් වස්තු ලබා ගැනීමට එහි කොටසක් කඩා බිඳ දමා ඇති බවය. චෛත්‍යයට යාබදව පිහිටි කුඩා විහාර මන්දිරයේ තැන්පත් කර ඇති ශෛලමය හිඳි බුදු පිළිමයේ පපු කොටසට හානිද ඔවුන් සිදුකර තිබුණු බවය.

මෙම නිදන් සොරුන් මුලින්ම සංඝාවාසයට ඇතුළුවී එහි සිටි විහාරවාසී පූජ්‍ය හේවාවිස්සේ පියනන්ද හිමියන්ගේ හා ආවතේවකරුගේ දෑත් දෙපා බැඳ සංඝාවාසය තුළ හා විහාර මළුවේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධතියේ දත්ත රැස්කරන යන්ත්‍රයේ (ඩී.වී.ආර්.) විදුලි වයර් ගලවා කඩා දමා ක්‍රියා විරහිත කිරීමෙන් පසු නිදන් වස්තු සොරා ගැනීම ආරම්භ කර තිබේ. චෛත්‍යයේ නිදන් වස්තු සොරා ගැනීමට අමතරව සංඝාවාසයේ පුස්කොළ පොත් තැන්පත් කරන ලද පෙට්ටියක් ද කඩා දමා වටිනා තොරතුරු ඇතුළත් පුස්කොළ පොත් කිහිපයක කොළ ගලවා හානි සිදුකළ අයුරුද දක්නට ලැබිණි.

කඩා බිඳ හාරා ඇති චෛත්‍යයේ ගර්භය මැද දක්නට ධාතු ගර්භය බිඳ විවර කර තිබිණි. වටදාගෙයක් තුළ පිහිටි මෙම කුඩා ප්‍රමාණයේ චෛත්‍යය ගොපලු දෙවිඳුන්ගෙන් උදුරා ගත් රන් කෙවිට තැන්පත් කොට ගැමුණු කුමරු විසින් කරවන ලද්දක් යැයි ජනවහරේ විය. එබැවින්ම පුසුල්පිටිය විහාරය සමඟ සම්බන්ධතා පැවැත්වූ ගැමුණු කුමරු අනුස්මරණය කිරීම පිණිස පසුකාලීනව ගොඩනැඟූ චෛත්‍යයක් බවද විශ්වාසයක් තිබිණි.

දේවානම්පියතිස්ස රජ සමයේදී මිහිඳු මාහිමියන්ගේ උපදෙස් පරිදි ශ්‍රී මහා බෝධියේ ශාඛාවලින් හටගත් හතළිස් ඵලරුහ බෝධි අංකුරයක් රෝපණය කළ ස්ථානයක් වශයෙන් පුසුල්පිටිය නාමය සඳහන් වේ. මෙම සිද්ධිය සිංහල බෝධි වංශයේ සඳහන් වන්නේ මෙසේය.

"ඉක්බිත්තෙන් ඉතිරි ඵල සතර දෙනාගේ බිජුවටින් අට - අට බැගින් උපන් දෙතිස් ඵලරුහ. ශ්‍රී මහා බෝධින් වහන්සේ අතරින් එක් ඵලරුහ බෝධියක්.... කොත්මලේ පුසුල්පිටියෙහිද....යි මෙසේ සම සතළිස් හා බෝධි රජයෝ බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන වූ ලෙසටම මේ ශ්‍රී ලංකාද්වීපයෙහි පිහිටියා හුයැ"
එමෙන්ම ලක්දිව අවසාන මහ රහතන්වහන්සේ වශයෙන් සැලකෙන මලියදේව රහතන් වහන්සේ විසින් දඹදිවෙන් මෙරටට වැඩම කරවන ලද දඹරන් බුදු පිළිම හතරෙන් එක් පිළිමයක් තැන්පත් කළ ස්ථානය මෙය බව ජනවහරේ විය. වර්ෂ 1815දී ඉංගී්‍රසීන් උඩරට රාජ්‍ය ආක්‍රමණය කළ අවස්ථාවේදී ආරක්‍ෂාව පිණිස දළදා වහන්සේ සඟවා තැබූ ස්ථානයක් හැටියටද පුසුල්පිටිය රජමහ විහාරය ආගමික වශයෙන් ඉතාම වැදගත්කමක් ඉසිලුවේය.

රුහුණේ සිට පැමිණ කොත්මලේ සැඟවී ජීවත් වූ ගැමුණු කුමරු කාවන්තිස්ස පිය රජුගේ අභාවයෙන් පසු රුහුණු රාජ්‍යයේ රාජාභිෂේකය
සඳහා කැඳවාගෙන ගියේ පුසුල්පිටිය විහාරයේ ආගමික කටයුත්තක යෙදී සිටි අවස්ථාවකැයි කියැවෙන බැවින් දේශපාලනමය වශයෙන් ද මේ පුදබිම වැදගත් විය. ඉන්පසු ගම්පොළ රාජධානි යුගයේ 04 වැනි බුවනෙකබාහු රජු විසින් මෙහි තැන්පත් කර තිබූ දඹරන් බුදු පිළිමයට මැණික් ඔබ්බවා ඇත් දළවලින් කැටයම් කළ මකර තොරණක් පූජා කර තිබුණේය.

මීට වසර ගණනකට පෙර දෙමහල් විහාර මන්දිරයේ තැන්පත් කර තිබූ ඓතිහාසික දඹරන් බුදු පිළිමය සොරුන් විසින් සොරකම් කළේය. එතැන් සිට විහාරස්ථානයේ හානිවීම් ආරම්භ විය. දෙමහල් විහාර මන්දිරයේ සිවිලිමේ සවිකර තිබූ ඕලන්ද පහන, දෙවැනි රාජසිංහ රජු පූජා කළ විශාල භාජන දෙකක්, විශාල ප්‍රමාණයේ ඇත් දළ දෙක, හා විහාරයේ තොරතුරු අනාවණ කෙරෙන තඹ සන්නස ආදී වටිනා වස්තූන්ද අද වන විට දක්නට නොලැබේ. පසුගිය වසරේදී පෞරාණික වටිනාකමින් යුත් මැණික් ඔබ්බවා සකස් කළ මකර තොරණ ද සොරුන් විසින් පැහැර ගත්තේය.

එම මකර තොරණ සොරකම් කිරීම සම්බන්ධයෙන් සිදුකළ පොලිස්
පරීක්‍ෂණවල ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට සොරුන් හා එය ප්‍රවාහනය කළ වාහනය අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. දැනට ඒ සම්බන්ධ නඩුව අධිකරණයේ විභාගවෙමින් පවතී. පසුගියදා සිදුකළ චෛත්‍ය නිදන් වස්තු සොරකම හා අනෙකුත් සිදුවීම් පිළිබඳව දැනට නුවරඑළිය සහකාර පොලිස් අධිකාරී 01 ඩී.ජේ.එම්.යූ. දසනායක මෙහෙයවීමෙන් පූඬළුඔය පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක වර්ණසිරි මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පරීක්‍ෂණ කටයුතු කරගෙන යයි. එම පරීක්‍ෂණ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවත් ඒවා ඔස්සේ ඉදිරි කටයුතු සිදුකෙරෙන බවත් කියැවිණි.

මෑත කාලයේදී කිහිපවරක් සොරසතුරු උපද්‍රවලින් විහාරස්ථානයට බලවත් හානියක් සිදුවී ඇති බව ප්‍රදේශවාසීන්ගේ අදහසයි. එම හානි වළක්වා ගැනීම සඳහා ප්‍රමාණවත් ආරක්‍ෂාවක් සපයා දෙන මෙන් විහාරාධිපති ස්වාමින් වහන්සේද නුවරඑළිය දිස්ත්‍රික්කයේ දේශපාලන බලධාරීන්ද මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමිය ද පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත. එසේ ඉල්ලා තිබියදීත් නිසි ආරක්‍ෂාවක් ලබා දී නැතැයි ගම්වාසී දායකයෝ පවසති. විහාරස්ථානයේ සිදුවන විනාශකාරී සිදුවීම් පිළිබඳව කඩිනම් අවධානය යොමු නොකරන්නේ කුමක් නිසා දැයි ඔවුහු ප්‍රශ්න කරති. මෙසේ දිගින් දිගටම සිදුවන සොරසතුරු උපද්‍රව පිළිබඳව විහාරයේ දැනට වැඩවෙසෙන විහාරවාසී හිමියන් හා දායක පිරිස බියෙන් හා කනස්සල්ලෙන් පසුවෙති.

ජයතිස්ස මල්දෙණිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්