ප්‍රභාකරන්ගේ රහස් බංකරයේ පොන්නම්බලම් ගුණ සැමරේ

  👤  3374 readers have read this article !
By mawbima 2017-08-13

මුළු රටම වෙළාගෙන තිබෙන දකුණේ පාතාල ක්‍රියාකාරකම්වලට අදාළ ඝාතන රැසක සුලමුල කතා කරන ලිපි පෙළක හත් වැනි කොටස
ශ්‍රී ලාංකේය දමිළ ප්‍රජාව නියෝජනය කළ ජේ‍යෂ්ඨ දේශපාලනඥයකු වූ කුමාර් පොන්නම්බලම්, වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ පාරේදී සිය මෝටර් රථය තුළදීම ඝාතනය කෙරුණේ 2000 ජනවාරි 05 වැනි බදාදා අලුයම 4.00ට පමණය. ඝාතකයන් පැමිණ තිබුණේ ප්‍රභූ ආරක්ෂක අංශ පාවිච්චි කරන, රුපියල් කෝටි ගණනක් වටිනා ඉහළම පෙළේ වාහනයකිනි. වාහනයේ වීදුරු අඳුරු කර තිබිණි. ඝාතනයට අදාළ පොලිස් පරීක්ෂණවල ඇදහිය නොහැකි පරස්පරතා හා පොලිසියේ හාස්‍ය ප්‍රකාශ හේතුවෙන් මෙම ඝාතනය ජාතික හා ජාත්‍යන්තර තලයේද දැඩි කතාබහට ලක්විය.

කුමාර් පොන්නම්බලම්, එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් සාධාරණය කිරීම සඳහා දකුණේ සමාජයේ සෘජුවම පෙනී සිටි අයෙකි. කුමාර් පොන්නම්බලම් ඝාතනය එල්.ටී.ටී.ඊ.යට ප්‍රබල කම්පනයක් ඇති කළේද මේ නිසාය. එම නිසාම ඔහුට සාධාරණත්වයක් ඉටු කිරීමටද එල්.ටී.ටී.ඊ.ය සැලසුම් කළේය. ඔවුන් කළේ, කුමාර් පොන්නම්බලම් පවුල වර්ෂ 2003.05.11 දින පුදුකුඩිඉරිප්පු කැලයේ එල්.ටී.ටී.ඊ. නායකයාගේ රහසිගත බංකරයකට ගෙන්වා දමිළ ප්‍රජාව වෙනුවෙන් පොන්නම්බලම් මහතා කළ සේවයට උපහාර තිළිණයක් පිරිනැමීමය. ඉන්පසු එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්, කුමාර් පොන්නම්බලම්ගේ පවුලේ අය සමඟ සමූහ ඡායාරූපයකටද පෙනී සිටියේය. එල්.ටී.ටී.ඊ.යේ නොවන දකුණේ දේශපාලනඥයකු වෙනුවෙන් කොටි සංවිධානය දක්වන ලද ඉහළම ගෞරවයක් ලෙස එකල, දමිළ මාධ්‍ය හරහා ජාත්‍යන්තර මාධ්‍ය මෙය පෙන්වා දී තිබිණි.

කුමාර් පොන්නම්බලම්, ඝාතනය කරන්නේ මොරටු සමන් හා කුංෆු සුජී විසින් බව පොලිස් පරීක්ෂණවලින් තහවුරු වී තිබිණි. ඝාතනයෙන් පසු මොරටු සමන් හා කුංෆු සුජී කෙළින්ම යන්නේ උඩරට දේශපාලකයකුගේ පුත්‍රයාගේ නිවෙසටය.

මොරටු සමන්, සිය ඝාතන වැල ආරම්භ කරන්නේ 90 දශකයේ මොරටුව හොල්ලාගෙන සිටි පාතාල නායකයකු වූ මොරටුවේ රාජා ඝාතනය කරමිනි. ඒ 90 දශකයේ මැද භාගයේදීය. මීරිගම උපන් මොරටු සමන්, මොරටුවට එන්නේ සිය පියාගේ ව්‍යාපාරික කටයුතු සඳහාය. එක්තරා හැන්දෑවක, රාජා සිය හිතවතකුට අමානුෂික ලෙස පහර දෙනු දැක, රාජා පසෙකට තල්ලු කර සිය මිතුරා බේරාගැනීමට මොරටු සමන් ක්‍රියා කළේය. එය නොරිස්සූ මොරටුවේ රාජා, මොරටු සමන් ගසක බැඳ ඔහුගේ දෑත් කපා දැමීමට සැලසුම් කළේය. මොරටු සමන් සිය දෑත් බේරා ගන්නේ රාජා ඉදිරියේ බැගෑපත්ව වැඳ වැටීමෙනි. මෙම සිදුවීම මොරටු සමන්ගේ හිතේ තදින් කාවැදුණේය. එතැන් සිට ඔහු අපරාධකරුවන් ඇසුරු කරන්නේ කවදා හෝ චණ්ඩියකු වී රාජාගෙන් පළි ගැනීමේ චේතනාවෙනි. සිය පළමු ඝාතනය ලෙස මොරටු සමන් අතින් මොරටුවේ පාතාල නායක, මොරටුවේ රාජා ඝාතනය වන්නේ මේ අනුවය.

බැද්දගානේ සංජීව
වර්ෂ 1993.05.21 දින පැවැති බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී බස්නාහිර පළාත ජය ගත්තේ පොදුජන එක්සත් පෙරමුණය. මැතිවරණ සමයේ එක් ප්‍රබල දේශපාලන චරිතයක ශරීර ආරක්ෂකයා
(ඕධඤර ට්චපඤඥ) ලෙස කටයුතු කරන්නේ බැද්දගානේ සංජීවය. නො. 178/1, දූව පාර, බැද්දගාන, කෝට්ටේ ලිපිනයේ පදිංචි බැද්දගානේ සංජීව, ඇයට හඳුන්වා දෙනු ලබන්නේ ඇයගේ හිතවතකු විසිනි. ප්‍රබල චරිතයේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තියත් සමඟ බස්නාහිර පළාත් සභාවේ මහ ඇමැති තනතුරට පත් වන්නේ තවත් චරිතයකි. ඒ 1994 අගෝස්තු 22 වැනිදාය. ඔහුගේ අභාවයෙන් පසුව 1995.07.13 දින සුසිල් ප්‍රේමජයන්ත බස්නාහිර පළාත් මහ ඇමැති තනතුරට පත් වන්නේය.

බැද්දගානේ සංජීවගේ කලක සිට පැවැති බලාපොරොත්තුව වූයේ ශ්‍රී ලංකා පොලිසියට එක්වීමයි. ඒ නිසාම ඔහු ඉහළම දේශපාලන මැදිහත්කමක් මත පොලිස් දෙපාර්තමේන්තුවට අයැදුම්පතක් ඉදිරිපත් කළේය. එයින් ටික දිනකට පසු එවකට පැවැති පොලිස් උප සේවයේ පොලිස් කොස්තාපල්වරයකු ලෙස ඔහු පොලිස් සේවයට එක් වූයේය. පසුව ඉහළම ප්‍රභූ ආරක්ෂක අංශයකට අනුයුක්ත කරන ඔහු එතැන් සිට රටේ ප්‍රබලම දේශපාලනයේ විශ්වාසවන්තම ආරක්ෂක නිලධාරියා මෙන්ම විශාලතම අපරාධකාරයා බවට පත්විය. පොලිස් සැරයන් තනතුරට උසස්වීමක් සඳහා බැද්දගානේ සංජීව පොලිසියට ඉදිරිපත් කරන අයැදුම්පතේ ලිපිනය ලෙස දක්වා තිබුණේ කොළඹ හතේ එක්තරා ප්‍රභූ නිවෙසක ලිපිනය හා දුරකතන අංකය බව කියැවිණි. අයැදුම්පතේ සිය භාරකරුවා ලෙස නම්කර තිබුණේද ප්‍රබල දේශපාලකයකුගේ නමය. නමුත් මෙම උසස්වීම කිසිදා ඔහුට ලැබුණේ නැත.

2001 මැද භාගය වන විට රටේ දේශපාලනයේ වෙනසක් සිදුවන බව දේශපාලනයේ නිරත බොහෝ අය ඉවෙන් මෙන් දැන සිටියහ. පාතාලයන්ද එකතු වන්නේ දේශපාලන බලය ඇති තැනටය. දේශපාලන බලය නොමැති තැන පාතාලයටද පැවැත්මක් නොමැති බව පාතාලයේ උන් දන්නේය. ඒ නිසාම බැද්දගානේ සංජීවද ඔහුගේ විකල්පය ගැන කල්පනා කරමින් සිටියේය. එහි ප්‍රතිඵලයක් ලෙස, බැද්දගානේ සංජීවද බලයට පත් වීමට නියමිතව තිබූ පක්ෂයට එක්වීමට රහසේ සැලසුම් කළේය. ඔහු එම පක්ෂයේ දේශපාලනඥයකු රහසේ අසුරු කරන බවටද ඔත්තු සේවා තොරතුරු සපයා තිබිණි. මේ කාලය වන විට මොරටු සමන් හා ධම්මික අමරසිංහ සිටියේද උඩරට දේශපාලකයාගේ සහ ඔහුගේ පුතුන් ඇසුරේය. බැද්දගානේ සංජීවද ඔවුන් සමඟ සමීප සබඳතා පැවැත්වූයේය.

බැද්දගානේ සංජීවගේ පිල් මාරු සැලසුම ඉව වැටීමෙන් පසු කලක් තමන්ගේ සුවච කීකරු හොඳම ගෝලයා ලෙස අපරාධ රැසක්ම කළ බැද්දගානේ සංජීව කරළියෙන් ඉවත් කිරීමට මේ උඩරට දේශපාලනඥයා තීරණය කළේය. ඒ අනුව මෙම කොන්ත්‍රාත්තුව ධම්මික අමරසිංහට පවරන්නේද ඔවුන්ට තිබූ එකම විකල්පය බැද්දගානේ සංජීව ඉවත් කිරීම පමණක් බවට ඔවුන් සිතූ නිසාය. මෙම සැලසුම සංජීව ඒ වනවිටත් සේවය කරමින් සිටි දේශපාලන ප්‍රබල චරිතය දැන සිටියේ නැත.

දිනය 2001 නොවැම්බර් 02 සිකුරාදාය. සවස 5.30ට පමණ සංජීවට සිය හිතමිතුරු ශාන්තගෙන් ලැබුණු දුරකතන ඇමතුමකින් කියැවුණේ පිටකෝට්ටේ හන්දියට පැමිණෙන ලෙසය. සිය බැද්දගාන නිවෙසේ සිට ඔහු පණිවිඩය ලද සැණින් මෝටර් රථයට නැඟ අදාළ ස්ථානයට ගියේ පණිවුඩය දුන් තැනැත්තා තමන්ගේ අතිශය විශ්වාසවන්ත සගයකු වූ නිසාය. පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයට නුදුරින් පිහිටි තේ කඩය අසලදී ඔවුන් හමුවිය. සංජීව එම ස්ථානයට යන විට ශාන්ත සමඟ ධම්මික අමරසිංහ සහ ගාලේ නමින් ඔවුන් හඳුන්වන අයකුද විය. එම ස්ථානයේදී දිගු වේලාවක් සාකච්ඡා කළේ සංජීව, ධම්මික හා ගාලේ පමණි. ශාන්ත, සාකච්ඡාවට හවුල් වූයේ නැත. බොහොම මිත්‍රශීලීව සාකච්ඡාව අවසන් කිරීමෙන් පසු සංජීව, ධම්මිකට හා ගාලේට ආරාධනා කළේ, මොනවා හරි බොන්නට නිවෙසට යමු කියාය. නමුත් ධම්මිකගේ පිළිතුර වූයේ 'අපි අපේ වාහනය වෙනත් තැනක නතර කරලයි ආවේ. හෙට මොනවා හරි කරමු. අපි දැන් යන්නම්' කියාය.

'එහෙනම් මම දැන් වෙනත් කටයුත්තකට නාරාහේන්පිටට යනවා. ඔයාලගේ වාහනය ළඟින් බස්සවන්නම්, මේකට නඟින්න' යැයි සංජීව ඇරයුම් කළේය. ඒ අනුව ධම්මික හා ගාලේ සංජීවගේ අංක 301-5990 මෝටර් රථයේ පිටුපස අසුනට ගොඩ වූ අතර ශාන්ත ඉදිරි අසුනට නැඟීමට සූදානම් විය.

"උඹ හිටපන්, මම ගිහින් ඉක්මනට එන්නම්," සංජීව ශාන්තව නතර කළේය. ඔවුන් එම ස්ථානයෙන් පිටව යන විට සවස 6.10ට පමණ විය.

2001 නොවැම්බර් 02 රාත්‍රි 6.40ට මිරිහාන පොලිසියට දැනගන්නට ලැබුණේ මිරිහාන පොලිස් වසමේ පාගොඩ පාරේ පළමු පටුමඟේ අංක 54 නිවෙස ඉදිරිපිට මෝටර් රථයක් තුළ පුද්ගලයකු මරාදමා ඇති බවයි. අදාළ ස්ථානය කෝට්ටේ හන්දියෙන් සංජීවගේ නිවෙසට හැරෙන හන්දියද විය. පොලිසිය එම ස්ථානයට එන විට වෙඩි වැදී මියගිය අය හැරෙන්නට වෙනත් කිසිවකු එම වාහනයේ නොසිටියේය. මියගොස් සිටියේ අමරසිංහ විතානගේ ඉරාන් ධනුෂ්ක පෙරේරා (29) නොහොත් බැද්දගානේ සංජීව බවට පොලිසිය හඳුනාගෙන තිබිණි. මෙම ඝාතනයත් සමඟ මාධ්‍යවේදීන්, කලාකරුවන් ඇතුළු ප්‍රභූන් රැසකට අඩන්තේට්ටම් කිරීම මෙන්ම ඝාතන රැසක තොරතුරුද වැළලී ගියේය.

බැද්දගානේ සංජීවගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් කියැවුණේ ඔහුගේ හිසට මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් උණ්ඩ 6ක් ඇතුළු වී තිබූ බවය. එම උණ්ඩ 6ම හිසට ඇතුළු වී තිබුණේ හිසේ පිටුපසිනි. බැද්දගානේ සංජීවට වෙඩි තබා තිබුණේ ඔහු සමඟ එකම වාහනයේ පිටුපස ගමන්ගත් ධම්මික අමරසිංහ විසින් බව පොලිසිය විශ්වාස කළේය. එදින රාත්‍රියේම ධම්මික අමරසිංහ සහ ගාලේ වෙනත් වාහනයකින් උඩරට බලා පිටත්ව ගිය බවටද පොලිසියට තොරතුරු ලැබී තිබිණි. පොලිසියට ලැබුණු තොරතුරු මත එසේ විශ්වාස කළා විනා ඊට වඩා වැඩි යමක් කිරීමටද පොලිසිය අපොහොසත් විය. බැද්දගානේ සංජීව ඝාතනයේ පොලිස් පරීක්ෂණ සියල්ල වළක්වා ගැනීමට ධම්මික අමරසිංහට රැකවරණය දුන් දේශපාලනඥයන්ගේ ප්‍රබලත්වය හේතුවී තිබිණි.

බැද්දගානේ සංජීව, මියගොස් සිටි වාහනයේ තිබී පොලිස් නිලධාරියකු ලෙස ඔහුට නිකුත් කර තිබූ ගිනි අවිය, ඉඩමක් සම්බන්ධ ලිපිගොනුවක් සහ ළමයින් පාසල්වලට ඇතුළත් කිරීමට අදාළ ලිපි ගොනුවක් පොලිසිය විසින් සොයාගෙන තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය, නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලද අංක 3003/1 දරන බී වාර්තාවට මෙම ලිපිගොනු හා ගිනි අවියද ඇතුළත් කර ඉදිරිපත් කර තිබිණි. මෙම ඝාතනයට අදාළව ඇසින් දුටු සාක්ෂි කිසිවක් නොතිබූ අතර ධම්මික අමරසිංහ සිය හිතවතකුට පසුව දුරකතන ඇමතුමක් ලබාදෙමින් කියා තිබුණේ තමන් සහ ගාලේ සිය වාහනය ළඟින් බැස ගිය බවත් ඊට පසු වෙනත් කිසිවෙක් බැද්දගානේ සංජීව විසින් තමන්ගේ වාහනයට නංවා ගන්නට ඇති බවත්ය. ඝාතනය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවද ඔහු ප්‍රකාශ කර තිබිණි. බැද්දගානේ සංජීවගේ සත්‍ය ඝාතකයා සෙවීමට හෝ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හෝ පොලිසියට කිසිදු වුවමනාවක් නොතිබූ බවද ප්‍රසිද්ධ රහසක් වූයේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්