සහජීවනයේ කුසුම් සුවඳ මිනිසත් බවින් විහිදුවන අත්තනගල්ලේ බුද්ධ පුත්‍රයා

  👤  3433 readers have read this article !
By mawbima 2017-08-13

අපේ රටේ බොහෝ සිද්ධස්ථාන ගොඩනැඟෙන්නේ දායක පින්වතුන්ගේ ආධාර උපකාරවලින්. ඒ හින්දම එම සිද්ධස්ථාන භාර හිමිවරු දායක දායිකාවන්ගෙන් වගේම වෙනත් දානපතියන්ගෙනුත් ආධාර බලාපොරොතු වෙනවා. ඒත් කිසිම ආධාරයක් බලාපොරොත්තු නොවන (දුන්නත් භාරගන්නේ නැති) හිමිවරුන් ඒ අතර නැත්තේ නැහැ. ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි අත්තනගල්ල රජමහ විහාරයේ අධිපති මහාචාර්ය පන්නිල ආනන්ද හිමියන් තමන්ගේ පාලනය යටතේ පවතින සිද්ධස්ථාන විතරක් නෙවෙයි රෝහල්වලට, පාසල්වලට පවා තට්ටු ගොඩනැඟිලි ඉදිකර දෙන හිමිනමක්. උන්වහන්සේ මෙම ප්‍රජා සත්කාරය කෙතරම් ගැඹුරට සිදු කරනවාද කියනවානම් ජාති, ආගම් භේද කිසිවක් නොතකමින් කතෝලික හා මුස්ලිම් පාසල්වලට පවා ගොඩනැඟිලි ඉදිකරදීමේ නිරතව සිටිනවා.

මෙම සද්කාර්යය සඳහා මුල පිරුවේ කොහොමද කියලා අපි උන්වහන්සේගෙන් ඇහැව්වාම ආනන්ද හිමියන් මේ ආකාරයෙන් පිළිතුරු දුන්නා.
මං මේ රටෙන් නිදහස් අධ්‍යාපනය ලබලා විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබලා විදේශ රටවල ධර්ම දූත මෙහෙවරයන්වල නිරත වෙලා ලංකාවට ඇවිත් සමාජ මෙහෙවරවල යෙදෙනවා. මං මේ මෙහෙවර කරන්නේ ලංකාවෙන් ශත පහකවත් මුදලක් නොගෙන. විදේශ ආධාරවලින් පමණයි.

ඒ විදෙස් ආධාරවලින් අත්තනගල්ල රජමහා විහාරයේ තට්ටු තුනේ ගොඩනැඟිලි 3ක් ඉදිකරමින් ප්‍රදේශයේ ජනතාවට අවශ්‍යතා රැසක් ඉටුකිරීමේ නිරත වූ ආනන්ද හිමියන් සුනාමි විපතට මුහුණ පෑ පවුල් වෙනුවෙන් එකක් රුපියල් 5,20,000ක් වටිනා නිවාස 336ක් ඉදිකොට භාර දුන්නා. ඒ අතරම ළදරු පාසල් 3ක්, පන්සල් කිහිපයක් පන්සල්වල බුදු මැඳුරු, චෛත්‍ය, බණ මඩු, දහම් පාසල් ඉදිකළ උන්වහන්සේ තමා උපන් වතුපිටිවල රෝහලේ ඇඳන් 78කින් සමන්විත ළදරු වාට්ටුවක් ද ඉදිකොට පරිත්‍යාග කළා. එපමණක් නෙමෙයි, එම රෝහලේ පොදු ඇමතුම් පද්ධතියද උන්වහන්සේගේ පරිත්‍යාගයක්.

මේ වෙනකොට ආනන්ද හිමියන් ගම්පහ දිස්ත්‍රික්කයේ වඩාත් ප්‍රකටව ඇත්තේ ඉස්කෝලවලට තට්ටු තුනේ ගොඩනැඟිලි හදලා දෙන හාමුදුරුවෝ හැටියටයි.
මේ ප්‍රදේශයේ ඉස්කෝලවල තියෙන අඩුපාඩු මං පත්තරේක දැක්කා. මං හිතුවා මේ වෙනුවෙන් යමක් කළ යුතුයි කියලා. ඒ අනුව මීට අවුරුදු දෙකහමාරකට විතර කලින් මගේ ගමට අල්ලපු වල්පොල ගමේ වල්පොල රජයේ මහා විද්‍යාලයට පන්ති 12ක් එක්ක තට්ටු 3 ගොඩනැඟිල්ලක් හදලා දුන්නා.

මේ ඉස්කෝලේ මෙහෙවරට අඩිතාලම වැටුණු ආකාරය ගැන උන්වහන්සේ විස්තර කළේ එහෙමයි. ඉන් පස්සේ උෟරාපොල මධ්‍ය මහා විද්‍යාලය, පන්නිල ශ්‍රී ආනන්ද නායක විදුහල, සංඝමිත්තා විදුහල, නියංගොඩ ධර්මාලෝක පිරිවෙන, දඹානේ ආදිවාසීන්ගේ දහම් පාසල ඇතුළු පාසල් රැසක විවිධාකාරයේ ගොඩනැඟිලි උන්වහන්සේගේ මූලිකත්වයෙන් ඉදිවුණා. ඒ අතර අවුරුදු 20කින් ගොඩනැඟිල්ලක් ඉදිනොවුණු නිට්ටඹුවේ සංඝබෝධි විදුහලෙත් තට්ටු තුනේ ගොඩනැඟිල්ලේ ඉදිවුණා.
"මගේ කිසිම ජාති ආගම් භේදයක් නැහැ."

එහෙම කියන ආනන්ද හිමියන් ඒක ප්‍රායෝගිකවම සනාථ කළේ වේයන්ගොඩ ශාන්ත මරියා විදුහලට විද්‍යාගාර ගොඩනැඟිල්ලක් ඉදිකර දෙමින්. ඒ විතරක් නෙවෙයි, තිහාරයේ එල්. අල්සාර් මුස්ලිම් විදුහලේ උන්වහන්සේගේ මූලිකත්වයෙන් ඉදිවූ ගොඩනැඟිල්ල අගෝස්තු 17 වැනිදා විවෘත වෙනවා.
මෙම කටයුතු සඳහා ආනන්ද හිමියන්ට මුදල් ලැබෙන්නේ කොහොමද කියලා ඇහැව්වම උන්වහන්සේ ඒ ගැන පැහැදිලි කළේ මේ ආකාරයෙන්.

1978 කාලේ ලෝකෙයි, තිබුණෙ ලන්ඩන් විහාරය ජර්මනියෙ බර්ලින් විහාරයයි, ඇමෙරිකාවේ වොෂිංටන් විහාරයක් විතරයි. මමයි වල්පොළ පියනන්ද හාමුදුරුවෝ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ පොඩි කාමර කෑල්ලක පොඩි පන්සලක් ආරම්භ කළා. ඉන් පස්සේ ටෙක්සාස්වල පන්සලක් ආරම්භ කළා. අද ඇමෙරිකාවේ ලංකාවේ පන්සල් 48කට වැඩිය තියෙනවා. මේ ධර්ම ප්‍රචාරක කටයුතුවලදී මා හඳුනාගත් විදේශීය දානපතියන් තමයි මට මේ මෙහෙවර සඳහා අවශ්‍ය ආධාර උපකාර ලබා දෙන්නේ. මීට අමතරව මම හයේ පන්තියේ ඉඳන් සාමාන්‍ය පෙළ, උසස් පෙළ, විශ්වවිද්‍යාල සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කරනවා.

මීට අමතරව ආනන්ද හිමියන් කරනු ලබන සමාජ මෙහෙවර බොහොමයි. මේ හැම දෙයක්ම ජාති ආගම් කුල මල භේදයකින් තොරව කිරීම තමයි උන්වහන්සේගේ එකම බලාපොරොත්තුව.

ගැමුණු රත්නායක
සේයාරු - සිරිමල් එදිරිසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon