කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම විජයදාස රාජපක්ෂ කඩාදමලා

  👤  3353 readers have read this article !
By mawbima 2017-08-13

විපක්ෂය ආණ්ඩුවට ඔළුව උස්සන්න බැරිවෙන්න 'ගහනවා' නේද?

නෑ නෑ එයාලා එයාලගේ ජොබ් එක හරියට කරනවා. විපක්ෂයේ ඉන්නකොට කොහොමත් ඔහොමයි. මේ අලුත් අත්දැකීමක්. වෙනම ගිය පක්ෂ දෙකක් එකට යන ගමනක්.
විපක්ෂයේ අභියෝගය වැඩියි. ජනතාවත් ඉන්නේ දැන් ආණ්ඩුව ගැන විශ්වාසය 'අත්හැරිය' ගානට. මෙහෙම ගියාම අත්‍යවශ්‍ය පනත් ටිකවත් සම්මත කරගන්න පුළුවන්ද?
නෑ, කිසිම ප්‍රශ්නයක් නෑ. මේක තුනෙන් දෙකේ බලයක් තියෙන ආණ්ඩුවක්. අනෙක එයාලා ඔය කියන තරම් ප්‍රබල නෑ. බලන්නකෝ එයාලගේ හැසිරීම බින්දුවට වැටිලනේ. අර තීරණාත්මක හම්බන්තොට වරාය ගිවිසුම ගැන විවාදය පටන් ගන්න යනකොට පාර්ලිමේන්තුව මැදට පැනලා, කෑගහලා, ස්ථාවර නියෝග කඩ කරලා, කතානායකතුමන්ගේ පුටුවේ වාඩිවෙලා, එයාලා නටපු පිස්සුව. මේවා පොඩි ළමයිවත් නොකරන වැඩනේ. හැබැයි එයාලා ප්‍රබල නෑ. ඔය පෙන්නන්නේ එයාලගේ බංකොලොත්කම.

ඒත් සමහරු කියන්නේ මෙහෙම 'නාන' ආණ්ඩුවක් නෑ කියලනේ?

ආණ්ඩුව පැත්තෙනුත් දුර්වලකම් තියෙනවා. අපි කරන දේවල් සමාජගත කරනවා අඩුයි. සමහර ඇමැතිවරු එක හඬකින් කතා කරන්නේ නෑ. පරස්පර විරෝධී මත ඉදිරිපත් කරනවා. මේවා හදාගෙන ඉදිරියට යන්න ඕන. මේ ආණ්ඩුව යන්නේ 'අත්හදා බලන' ගමනක්. ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා ඉන්නේ.

හැම පැත්තෙන්ම ප්‍රශ්න හදාගෙන ආණ්ඩුව මොනවද මේ කරන්නේ?

අපි භාරගත්තේ බොහොම අමාරු ආර්ථිකයක් තිබ්බ රටක්. ණය ගෙවනවා මිසක් වෙන කරන්න හැකියාවක් අපිට තිබ්බේ නෑ. හිටපු ජනාධිපතිතුමා අවුරුදු දෙකකට කලින් ඡන්දෙට ගියේ රටේ අනතුර දැකලමයි. ඒ ඡන්දෙට රාජ්‍ය සම්පත් පුදුමාකාර විදියට යොදා ගත්තා. ඒත් දිනුවේ නෑ. ඡන්දේ කිට්ටු කරලා සංවර්ධන ව්‍යාපෘති කළා. එකකට ගත්ත ඒවා භාගෙට කරන ගමන් තව කීපෙකට ගත්තා. ඕවා අපි දැනගත්තේ පස්සේ බලයට ඇවිත් ගෙවීම් කරන්න යනකොටයි. අනෙක් පැත්තෙන් අපි ආණ්ඩුවක් හැටියට භාර ගන්නකොට ලෝකෙම ආර්ථිකය වැටිලා තිබ්බා. දැන් බලන්න පෝට් සිටිය වුණත් එයාලා සින්නක්කරේට දීල තිබ්බ එක වෙනස් කරලා ඒක හරි අතට ගන්න කාලයක් ගියා. දැන් ආර්ථිකේ හරි පැත්තට වැටිලා තියෙන්නේ. ආර්ථික මූලධර්ම හොඳ පැත්තට හැරුණා. හම්බන්තොට ගිවිසුම අස්සන් කළත් එක්කම ඩොලර් බිලියන එකයි දශම එකයි දෙකකින් විදේශ සංචිතය ශක්තිමත් වුණා. මේවා දකින ආයෝජකයෝ මේ රටේ ආයෝජනයට පෙලඹෙනවා. අනෙක අපේ විදෙස් ප්‍රතිපත්තියට ලෝකය එකඟයි. ඒ නිසාම ජී.එස්.පී. ප්ලස් පවා ලැබෙනවා. ධීවර තහංචිය පවා දැන් ඉවත් වෙලා.

විපක්ෂය පුන පුනා කියනවා හම්බන්තොට වරාය විකුණලා ආණ්ඩුව රට ලෝකෙට පාවා දුන්නා කියලා. ඔබ හිතට එකඟව කියනවද මේ ගිවිසුම ලංකාවට වාසියක්ද අවාසියක්ද කියලා?

මේක වාසියක් බව හෝඩියේ ළමයකුට පවා තේරෙනවා. වරාය අධිකාරිය මිලියන නවදාස් එකසීයක් ණය ගෙවන්න තිබ්බ එකෙන් අපි නිදහස් වෙනවා. දැන් අපිට අනෙක් වරායනුත් දියුණු කරන්න ඉඩ ලැබෙනවා. සේවකයන්ගේ රැකියා සුරක්ෂිත වෙන්න මේක හේතු වුණා. ලාභය වැඩිවෙනකොට එයාලට දෙන වරප්‍රසාද වැඩි කරන්න පුළුවන්. ජනතාවගේ ජීවන වියදම අඩු කරන්න පුළුවන් වෙනවා. ආයෝජනය වැඩි වෙනවා. රැකියා බිහි වෙනවා. අපි බදු නොදුන්නා නම්, වරායේ ශුද්ධ ලාභය යනවා ණය ගෙවන්න. කඩිමුඩියේ වරාය හදලා ණය උගුලක හිර කරපු රට නිදහස් කරගන්න අපිට පුළුවන් වුණා.

මේවා රටේ සම්පත්, කොහොම වුණත් වෙලා තියෙන්නේ විකිණිල්ලක් නේද?

ඒ කාලේ රාජපක්ෂ මහත්තයා දෙන්න ගියේ සින්නක්කරව. පෝට්සිටි, ෂැංග්‍රිලා වගේ ව්‍යාපෘති දෙන්න ගියේ එහෙමයි. පෝට් සිටිය විතරයි අපිට පුළුවන් වුණේ වෙනස් කරලා 99 අවුරුද්දට දෙන්න. ෂැංග්‍රිලා වැඩ පටන්ගෙන තිබ්බේ. අපි දීලා තියෙන්නේ 99 අවුරුදු බද්දකට.

බදු දීමෙන් ලැබෙන මුදල් වරාය අධිකාරියට ලැබෙන බව විශ්වාසද?

භාණ්ඩාගාරයට මුදල් ලැබුණම ණය ගෙවනවා. අපිට ඊට පස්සේ ණය ගෙවන්න ඕන නෑ.

මේ වරාය හදන්න වරාය අධිකාරිය ලොකු මුදලක් ණය වෙනවා. විෂය භාර ඇමැති විදියට ඔබට විශ්වාසද භාණ්ඩාගාරය ඒ ණය කපා හරියි කියලා?

ඔව්. මම ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවේ එක වගන්තියක් තමයි භාණ්ඩාගාරය මේ ණය මුදල භාරගන්න ඕන කියන එක. ඒකට කැබිනට් අනුමැතිය ලැබුණා. මේ බදු දීමෙන් විශාල මුදල් සම්භාරයක් එනවා.

මේ වරාය ගන්න තරග කළ ආයතන දෙකක් තිබ්බා. බොහෝදෙනා කියනවා රටට හිතකර ආයතන පැත්තකින් තියලා අහිතකර ආයතනයට බදු දුන්නා කියලා?
ඒක අමූලික බොරු. මම ඒ ලියැකියැවිලි ගෙනත් බලන්නම්. ඒ වෙලාවේ මම සම්බන්ධ වෙලා හිටියේ නෑ. නමුත් චයිනා මර්චන්ට් කියන ආයතනය තමයි වැඩිම ලංසුව ඉදිරිපත් කළේ. ඒ ඩොලර් මිලියන එක්දහස් එකසිය විස්සක්. චයිනා හාබර් හිටියේ ඊට පස්සේ. ඩොලර් මිලියන හත්සිය හතළිහයි එයාලගේ ලංසුව. සංඛ්‍යා ලේඛන හරියට නොදැන දේශපාලන කෝණයෙන් බලන අය එහෙම කියනවා.

ඔබට වගකීමෙන් කියන්න පුළුවන්ද අලුත් ආයතනය හරහා ලංකාවට ලැබෙන කොටස අනෙක් ආයතනයට වඩා වාසිදායකයි කියලා?

අනිවාර්යයෙන්ම. මහින්ද මහත්තයාගේ කාලේ අස්සන් කරන්න ගිය ගිවිසුමෙන් භාණ්ඩාගාරයට සතයක්වත් එන්නේ නෑ. මේ අවුරුදු තුන තුළ ඩොලර් මිලියන තුන්සීයක් මේ ආයතනය වරායට ආයෝජනය කරනවා. එයාලගේ ගිවිසුමට ගියා නම් කිසිම ලාභයක් රටට නෑ.

අර්ජුන රණතුංග ඇමැතිවරයාට තිබ්බේ මේ අමාත්‍යාංශය. එතුමාගෙන් ගැලවෙන්න හෝ ගලවන්න හේතුව මේ වරාය ගිවිසුමට එතුමා එරෙහිවීම කියලා බව සමහරු කියනවා. දැන් මේ විෂය අයිති ඔබට. ඔබේ එකඟතාව මේකට පූර්ණව ලැබුණාද?

අනිවාර්යයෙන්ම. ඒ වගකීමත් මම භාරගන්නවා. මේ අමාත්‍යාංශය භාර අරන් මාස දෙකයි. හැම සාකච්ඡාවක්ම තිබ්බේ මගේ ප්‍රධානත්වයෙන් තමයි. ඊට කලින් අර්ජුන ඇමැතිතුමා, අමුණුගම ඇමැතිතුමා, මලික් ඇමැතිතුමා මේකට අත ගැහුවා. මම භාර ගත්තට පස්සේ වෙන කවුරුත් අතගැහුවේ නෑ. මොකද රේඛීය අමත්‍යාංශය අපි. කැබිනට් මණ්ඩලයේදී සංශෝධන 5ක් ආවා. ඒවත් ඇතුළත් කරලා තමයි ගිවිසුම අස්සන් කළේ.

හම්බන්තොට වරාය චීනෙට දීම වැරැදි බවත් ඒක ආපහු අරන් මිසක් පස්ස බලන්නේ නැති බවත් විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා කියනවා. මේකෙන් පේන්නේ මේ ගිවිසුම ගැන ආණ්ඩුවේ පරස්පරයක් තියෙන බව නේද..?

අපි ඔය ගිවිසුම අස්සන් කරන්නේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පස්සේ. මේකට කැබිනට් මණ්ඩලය පූර්ණ අනුමැතිය දුන්නා. සංශෝධන කිහිපයකුත් කළා. ඒ සංශෝධනත් ඇතුළත්ව තමයි ගිවිසුම අස්සන් කළේ. විජයදාස රාජපක්ෂ මහත්තයා කැබිනට් ඇමැතිවරයෙක්. එතුමා කැබිනට් සාමුහිකත්වය හොඳට දන්නවා. කැබිනට් මණ්ඩලය සාමුහික තීන්දුවක් ගත්තම ඊට විරෝධී අදහස් දැක්වීම වැරැදියි. පෞද්ගලික මත ඕන කෙනකුට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. ඒත් මේක සාමුහිකව ගත්ත තීන්දුවක්.

එන චෝදනාවලට මුහුණ දෙන්න වෙන්නෙත් ඔබට?

චෝදනාවක් එන්න විදියක් නෑ. මම විනිවිදභාවයෙන් කටයුතු කරලා තිබෙනවා.

ලැබෙන මුදල් කොටසක් කපිලවස්තුවටත් දෙනවා කියලා අගමැතිතුමා කියනවා නේද?

ඒක නම් මම දන්නේ නෑ.... අගමැතිතුමාගෙන් තමයි අහන්න වෙන්නේ. හැබැයි ඉතින්, එහෙම දෙන්න වුණත් පුළුවන් විදියට තමයි මෙහි වාසිය ලැබිලා තියෙන්නේ. රජය තීරණය කරයි මොනවද කරන්න ඕනා කියලා.

මේ වරාය පිහිටා තිබෙන ස්ථානීය අගයත් එක්ක අනූනව අවුරුද්දක් චීනය අපිට බොහෝ බලපෑම් කරාවි නේද?

ඇත්තටම අනූනව අවුරුද්දක් බදු දීලා නෑ. අවුරුදු 70දී අපිට මිලදී ගන්න පුළුවන් විදියටයි ගිවිසුම අස්සන් කළේ. අනෙක අසූවක් වෙනකොට සීයට හැත්තෑවක් කොහොමත් අපිට එනවා. එතකොට බහුතර පාලනය අපිට. අනෙක භූමිය අයිති අපිට.

කොළඹ වරායට මේ ගිවිසුම "මරු පහරක්" වෙන්න බැරිද?

අපි කොළඹ වරාය දියුණු කරන්න ඕනා. තරගකාරීත්වය කියන්නේ ඒකට. හම්බන්තොට හදද්දීත් ඕක ආවනේ. කොහොම වෙතත්, ලොකු ප්‍රශ්නයක් එන එකක් නෑ. මොකද මම නියාමකයෙක් පත් කරන්න අයිතිය අරන් තියෙනවා. අනවශ්‍ය තරගකාරීත්වයකින් වැඩි වාසි ගන්නකොට මැදිහත් වෙන්න ඒ නියාමකට පුළුවන්. අනෙක ඉන්දියාවේත් මේ වෙනකොට වරායවල් වේගයෙන් හැදෙනවා. තව අවුරුදු 5කින් කොහොමත් ලොකු තරගයක් තියෙනවා. ඒ තරගයෙන් අපි දිනන්න ඕන. ව්‍යාපාරික දක්ෂතාව කියන්නේ ඒකට.

ආසියාවේ බලය අල්ලන්න සෙල්ලම් කරන ඉන්දියාව, චීනෙත් එක්ක ගහපු මේ ගිවිසුම ගැන දක්වන ප්‍රතිචාරය මොකක්ද?

එයාලා කළේ එක ඉල්ලීමයි. ඒ මේ ගනුදෙනුව සීයට සීයක් වාණිජ විය යුතුයි කියන එක. අපි පිළිගන්නවා. අපිටත් ඕන ඒක තමයි. ආරක්ෂාව පවා වෙන්නේ අපෙන්.
පසුගිය කාලයේ සේතු සමුද්‍රම් කරළියට එන්නේ අෑතින් යන නැව් ඉන්දියාවට කිට්ටු කරගැනීමේ අරමුණින් කරපු ව්‍යාපෘතියක් විදියට. එහෙම එකේ ඉන්දියාව අර තරම් "සරල"

ඉල්ලීමකින් සෑහෙයිද?

නෑ. ලංකාවට එහෙම බලපෑමක් නැහැ. අනෙක අපි හැමෝටම වරාය ගැනීමේ අවස්ථාව දුන්නා. එයාලා නොගත්ත නිසයි චීනෙත් එක්ක කතා කළේ. අනෙක චීනෙ තමයි මේක හැදුවේ. එ් වගේම ඒ රටවල්වල තියෙන පරමාර්ථ එක්ක අපි පැටලෙන්න ඕන නෑ. අපේ විදෙස් ප්‍රතිපත්තිය "හැම දෙනා සමඟම මිත්‍රශීලීත්වය."

අරහෙන් පෝට් සිටිය.... මෙහෙන් වරාය.. මේ රටට සෑහෙන බලපෑමක් චීනේ කරාවි නේද?

නෑ. එහෙම වෙන්නේ නෑ. ඒක ගැන සහතිකයි.

මේ දවස්වල "රවි කරුණානායක" ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් එන්න යනවා. මොකක්ද ඔබේ පක්ෂයේ ස්ථාවරය?

එහෙම තවමත් ස්ථාවරයක් අරන් නෑ. අනෙක නිගමනවලට එන්න කලින් රවි කරුණානායක මහතාගේ පැත්ත අහන්නත් ඕන. අපි එකතුවෙලා තීරණයක් ගන්නවා.

ආණ්ඩුව එන්නේම ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලනේ. හැබැයි දැන් ඒක කරගන්නත් බැරි තැනකට ප්‍රශ්නේ කැරකිලා නේද?

නෑ. ව්‍යවස්ථාවක් වුණත් කාලානුරූපීව වෙනස් වෙන්න ඕන. වෙනස් විය යුතු බොහෝ දේ තියෙනවා. කාටවත් කියන්න බෑ ව්‍යවස්ථාවට අත තියන්න එපා කියලා. හැබැයි සමහර වෙනස්කම් කරන්න ගියොත් සමාජ ප්‍රශ්න මතු වෙන්න ඉඩ තියෙනවා. මෙහෙයුම් කමිටුවේ වාර්තාව ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තාමත් ස්ථාවරයකට ඇවිත් නෑ. එක්සත් ජාතික පක්ෂයත් එහෙමයි. ඉදිරියේදී අපේ ස්ථාවරයන්ට එනවා. කොහොම වෙතත් අවසානයේදී පාර්ලිමේන්තුවට, අනතුරුව ජනතාව ඉදිරියට මේක අරන් එනවා. අවසන් තීන්දුව ගන්නේ ජනතාව.

සමහරු කියනවා ජනාධිපතිවරයා ඉන්න තුරු ආණ්ඩුව හෙලවෙන්නේ නෑ කියලා. හැබැයි එකසිය හැට ගාණක් හිටපු මහින්ද මහත්තයාගේ ආණ්ඩුවත් පෙරළෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ "අභියෝගය" හිස් එකක් නෙවෙයි නේද?

නෑ බලන්න එක්සත් ජාතික පක්ෂයට නියෝජිතයෝ 106ක් ඉන්නවා. නිදහස් පක්ෂේ අපි හැමෝම එකතු වුණාම ඉන්නේ 95යි. එතකොට අනෙක් අය කොහෙන්ද? ටී.එන්.ඒ. එක එක්ක එකතු වෙලා ආණ්ඩුවක් කරන්න කවුරුත් කැමැති නෑ. ඉතින් කොහේ ආණ්ඩු පිහිටුවන්නද? ඒකයි ජනාධිපතිතුමා කීවේ මේ අවුරුදු දෙකේ වෙනසක් වෙන්නේ නෑ කියලා. හැබැයි අපි ප්‍රාර්ථනා කරනවා ඊළඟ ඡන්දෙන් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට තනි ආණ්ඩුවක් හදන්න පුළුවන් විදියට 113ක් ලැබෙන්න කියලා.

ඊට පස්සේ දෙගොල්ල එකට යන "මේ ආදර්ශයම" දෙනවාද?

ඊට පස්සේ ඒක තීරණය කරනවා. අනෙක, එකතු නොවී ඉන්නේ මොකටද? එකට වැඩ කරන්න පුළුවන්නම් එකට වැඩ කළාම වැරදිද? විස්සයි විස්සේ අපේ ආණ්ඩුවක් කියලා දෙගොල්ලොම කියනවා. ඒක හරි. හැබැයි එකට ගියොත් ඒක හොඳයි. හැබැයි අපි වැඩ කරගෙන යන්නේ විස්සයි විස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් හදන්න බලන්න.

දෙකට කැඩුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා "හැදිලා වැඩුණු" මහගෙදරටම යන්න හිතෙන්නේ නැද්ද?

නෑ. දැන් මගේ මහ ගෙදර ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. යන්න අදහසක් අවිල්ලත් නෑ. කොහොමත් මම ඩබල් ගේම්කාරයෙක් නෙවෙයි. ඉදිරියටත් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. එකේ වෙනසක් නෑ.

හැබැයි ඔබ රනිල් වික්‍රමසිංහ මහතාට බොහොම සමීපව හිටියා?

ඒ මිත්‍රත්වය තාමත් තියෙනවා. මම කවදාවත් එතුමාව විවේචනය කරලා නෑ. අද මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහකාර ලේකම්වරයෙක්. ඒත් කවදාවත් එක්සත් ජාතික පක්ෂය විවේචනය කරලා නෑ. හිටපු තැන විවේචනය කරලා ලකුණු දා ගන්න මට ඕන නෑ.

ඡන්දෙට එන්න කලින් කීව "හොරු" දැන් මාරු වෙලාද?

ඇත්තටම ඒක ලොකු ප්‍රශ්නයක් තමයි. අපි නම් එහෙම කීවේ නෑ. එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේදී තමා මූලිකව එහෙම කීවේ. මහ පරිමාණ දූෂණ ගැන කීවේ එයලා. ගණන් හිලව් එක්කමයි කීවේ.

ජනාධිපතිතුමා කීවා නේද?

එතුමා ගණන් හිලව් කීවේ නෑ. තියෙන පැමිණිලි අනුව මේවා විභාග කරලා දඬුවම් පමුණුවන්න කියලයි එතුමා කියන්නේ. එතුමා ඒක එදත් කීවා. අදත් කියනවා. නීතිපති දෙපාර්තමේන්තුවයි, නීතිය හා සාමය අමාත්‍යාංශයයි දෙන්න කීවේ මාස තුනෙන් හොරු අල්ලන්නම් කියලා.

ඒ කියන්නේ එතුමාටත් දැන් 'යන රටාව' සැකයිද?

ඔව්, පටන් ගත්ත පරීක්ෂණ ඉවර කරලා නිසි දඬුවම් නොකිරීම ගැන එතුමත් අපසුතාවට පත්වෙලා තියෙනවා. අවුරුදු තුනක් ගිහිල්ලත් පොඩි පොඩි අය විතරයි හොයලා තියෙන්නේ. අර කීව මහ පරිමාණ දූෂිතයෝ කෝ? එක්කෝ ඒවා හෙළිදරව් කරන්න ඕන. නැත්නම් කට වහගෙන ඉන්න ඕන.

හිතෙන්නේ නැද්ද කුමක් හෝ "අදිසි හස්තයක්" මේ යටින් තියෙනවා කියලා?

ඔව්, මොකක් හරි ක්‍රියාත්මක වෙනවා. මම කාටවත් ඇඟිල්ල දිගු කරන්නේ නෑ. ඒත් මේක නිවැරැදි වෙන්න ඕන.

ආණ්ඩුව ඇතුළේ සතුටින්ද ඉන්නේ?

ඔව්. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඉන්නකම් අපි සතුටින් ඉන්නවා. මොකද පරණ කැබිනට්වල තත්ත්වේ මම හොඳට දන්නවා.

රංජිත් කුමාර සමරකෝන්
ඡායාරූප-අකිල ජයවර්ධන

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්